ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (එල්. පී.එල්) පන්දුවාර විස්සයි20 තරගාවලියේ කිරුළ ගාල්ලටද? නැනිනම් යාපනයටද? යන්න ගෝල් ග්ලැඩියේටර්ස්  කණ්ඩායම සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර අද (16දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ පිටියේදී පැවැත්වෙන අවසන් මහා තරගයේදී තීරණය වනු ඇත. එය මෙරට වේලාවෙන් සවස 07.00ට ආරම්භ වේ.


මෙම තරගාවලිය තරුණ ක්‍රීඩකයන්ට සිය හැකියාවන් ලොවට විදහා දැක්වීමට කදිම අවස්ථාවක් විණි. එම අවස්ථාවෙන් තරුණ ක්‍රීඩකයන් උපරිම ප්‍රයෝජනයක් ගත්තේද යන්න විමසා බැලිය යුතුය. කෙසේ වෙතත් තරගාවලිය ආරම්භයේ සිටම තරුණ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම තම හැකියාවන් ඉදිරිපත් කරමින් සිටියද පීඩනයක් යටතේ මෙන්ම අවශ්‍ය අවස්ථාවේදී ඔවුන් අසාර්ථක විය.

විශේෂයෙන්ම කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ පෙරේරා, ඕෂද ප්‍රනාන්දු සහ මිනෝද්භානුක වැනි ක්‍රීඩකයන් මෙම තරගාවලියේදී දැක්වූ දක්ෂතා කෙරෙහි නැවත නැවතත් සිතා බැලිය යුතුය.

තරුණ ක්‍රීඩකයන් පමණක් නොව මෙරට නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ද තරගාවලිය ආරම්භයේදී හොදින් තරගාවලියට අවතීර්ණ වුවද අවශ්‍යම මොහොතේදී ආසාර්ථක විය. ඒ අතරින් ඇන්ජලෝ මැතිව්ස් ඉදිරියෙන්ම පසුවේ. ඔහුගේ අසාර්ථකත්වය කොළඹ කණ්ඩායමට තදින්ම බලපෑම් කළේය.

තරගාවලිය ආරම්භයේදී ජැෆ්නා කණ්ඩායමේ නායක තිසර පෙරේරා තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසින් හොඳින් දක්ෂතා දක්වමින් සිටියද තරගාවලිය අවසන් භාගයේදී අසාර්ථක විය. තිසරගේ ගැටලුවද මෙයයි. අඩු පීඩනයක් යටතේ හොඳින් ක්‍රීඩා කරන තිසර පීඩනය සහිත තරගවලදී අසාර්ථකවීම තවමත් නිවැරදි කරගෙන නොමැත. අද තරගයේදීවත් තිසර මෙයට පිළිතුරක් සොයාගත යුතුය.  කෙසේ වෙතත් තිසර නායකයෙකු ලෙස හොඳින් කණ්ඩායම මෙහෙයවන  ආකාරයක් දැකගත හැකිය. ඒ ඒ ක්‍රීඩකයාට ඇති හැකියාව වෙන වෙනම තිසර තේරුම් ගෙන ඇති බවක්ද පෙනෙන්නට තිබේ.

අර්ධ අවසන් තරගයේදී තිසර පන්දු නොයැවීමද එයට එක් උදාහරණයකි. තිසර පිටියේ ස්වභාවය අනුව පන්දු යවන්නන් භාවිත කළ ආකාරය අගය කළ යුතුය.

ගාල්ල කණ්ඩායම ආරම්භයේදී භානුක රාජපක්ෂගේ නායකත්වය යටතේ තරග කරන ආකාරයක් දැකගත හැකිවුවද, හිටපු පාකිස්තානු ක්‍රීඩක සහිඩ් අෆ්රිඩිගේ පැමිණීමත් සමග කණ්ඩායමේ නායකත්වය අෆ්රිඩිට හිමි විය.

කෙසේ වෙතත් පෞද්ගලික හේතුවක් නිසා තරගාවලිය අතරතුරදී අෆ්රිඩි නැවත පාකිස්තානය බලා පිටත්ව යෑම නිසා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම භානුකගේ කරමතට වැටිණි. තරුණ ක්‍රීඩකයෙකු වන භානුකට නායකත්වයේ වගකීම සිය හැකියාවන් මැනවින් ඉදිරිපත් කිරීමට බලපෑම් කර ඇති බවක් පෙනෙන්නට තිබේ. මේ දක්වා ඉනිම හතකදී (21, 12, 1, 5,37*,31 සහ 33) භානුක වාර්ත කර ඇත්තේ ලකුණු 140ක් පමණි. භානුක යනු මීට වඩා දක්ෂතා පෙන්විය යුතු තරුණ ක්‍රීඩකයෙකි. මන්ද විශාල ලකුණු සංඛ්‍යාවක් වේගයෙන් රුස් කිරීමට  භානුකට හැකි බැවිනි. අද තරගය භානුකගේ තරගයක් වුවහොත් එල්. පී. එල්. කිරුළ දිනාගැනීමට ගෝල් කණ්ඩායමට ගැටලුවක් නොවනු ඇත.

තරගාවලියේ වැඩිම ලකුණුලාභියා " ලෙසින් මේ වනවිට ඉදිරියෙන් පසුවන්නේ ගෝල් කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලකයි. පිතිකරුවෙකු ලෙසින් තරගාවලිය ආරම්භයේ සිටම ලකුණු අතර සිටින පිතිකරුවා ඔහුය. ඔහු ඉණිම් 09කදී නොදැවීම් දෙකක් සහ අර්ධ ශතක 04ක් සමගින් ලකුණු 475ක් වාර්තා කරගෙන සිටින අතර, එහි ඉනිමක ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 67.85කි. එමෙන්ම පන්දුවට පහරදීමේ වේගය 142.25කි. ධනුෂ්කගේ හොඳම ඉනිම නොදැවී ලබාගත් ලකුණු 94යි. එය ගෝල් කණ්ඩායමට ධන ලකුණකි.


කෙසේ වෙතත් යාපනය කණ්ඩායමේ අවිෂ්ක ප්‍රනාන්දු වැඩිම ලකුණුලාභී පිතිකරුවන්ගේ ලැයිස්තුවේ හයවැනි ස්ථානයේ පසුවේ. එමෙන්ම ඔහු යාපනය කඩායමේ මේ දක්වා වැඩිම ලකුණුලාභියාද වන්නේය. අවිෂ්ක මේ දක්වා ඉනිම 08දී නොදැවීම් එකක් වාර්තා කර ඇති අතර, ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 271කි. එයට අර්ධ ශතක 02ක්ද ඇතුළත්ය. ඔහුගේ හොඳම ඉනිම නොදැවී වාර්තා කළ ලකුණු 92වේ. එමෙන්ම අවිශ්කගේ ඉනිමකදී ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 41.33කි. එමෙන්ම පන්දුවට පහරදීමේ වේගය 137.01කි.  ධනුෂ්කට මෙන්ම අවිෂ්කට ආරම්භක පිතිකරුවන් ලෙස කණ්ඩායම වෙනුවෙන් ඉටු කිරීමට ඇත්තේ වැඩි වැඩ කොටසකි.

ශ්‍රී ලංකා වරම් හිමිකරගත්දා පටන් ක්‍රමක්‍රමයෙන් දියුණුවෙමින් සිටින වනිඳු හසරංග එල්.පී.එල්. තරගාවලියේදී සියලු ගෞරව හිමිකරගත් පන්දු යවන්නාය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තම ස්ථානය ස්ථාවර කරගනිමින් සිටින වනිඳු එල්.පී.එල්. තරගාවලියේදී තමන් ඒ සඳහා කෙතරම් සුදුසුදය යන මේ වනවිටත් ඔප්පු කර අවසන්ය.

තමන් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද තරගයක් වෙනස්කළ හැකි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බව නැවත නැවත ඔප්පුකර පෙන්වීය. වනිඳු එල්.පී.එල්. තරගාවලියේ මේ දක්වා වැඩිම කඩුලුලාභියාද වේ. ඔහු ඉනිම 09දී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 16කි. ඔහුගේ හොඳම පන්දු යැවීම ලකුණු 15ට කඩුලු 3ක් දවාගැනීමයි. මෙම තරගාවලියේදී වනිදුගේ කඩුලු දවාගැනීමේ සාමාන්‍ය 10.87කි. එනම් ඔහුට එරෙහිව ලබාගත් සෑම ලකුණු 10.87ට වරක් ඔහු කඩුල්ලක් දවාගෙන ඇත.

මෙවර තරගාවලියේදී සොයාගන්නට හැකිවූ හොඳම  තුන්ඉරියව් ක්‍රීඩකයා ගාල්ල කණ්ඩායමේ ධනංජය ලක්ෂාන්ය. ඔහු ඉනිම 06දී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 10කි. ඔහුගේ හොඳම කඩුලු දවාගැනීම ලකුණු 27ට කඩුලු 2කි. ධනංජයගේ කඩුලු දවාගැනීමේ සාමාන්‍ය 18.90කි. ඔහු කඩුලුලාභීන් අතර සිවුවැනි ස්ථානයේ පසුවේ. කෙසේ වෙතත් ගාල්ල කණ්ඩායම් වෙනුවෙන් ලක්ෂාන් සඳකැන් වැඩිම කඩුලුලාභීන් අතර තෙවැනි ස්ථානයේ  සිටින අතර පාකිස්තානු වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් පස්වැනි ස්ථානයේ පසුවේ. ඒ අනුව පන්දු යවන්නන් අතරින් පළමු ස්ථාන 05න් 03ක්ම වෙන්ව ඇත්තේ ගාල්ල කණ්ඩායම වෙනුවෙනි. ඉන් පෙනී යන්නේ ගාල්ල කණ්ඩායමේ පන්දු යවන්නන් මෙවර තරගාවලියේදී සිය වගකීම් කොටස මැනවින් ඉටුකර ඇති බවයි. තවද යාපනය කණ්ඩායමේ සොයිබ් මලික්, ඩුඒන් ඔලිවියර්, ජෝන්සන් චාර්ල්ස් සහ උස්මන් ශින්වාරි කෙරෙහිද අද තරගයේදී අවධානයෙන් සිටිය යුතුය.
- දිනේෂ් මන්ත්‍රීවිතාන -