මීට මාස හයකට පමණ පෙර පසුගිය ජූනි මාසයේ ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනය ඉතා සාර්ථක මට්ටමින් පවතින අතරවාරයේ ඉන්දියාවේ The Indian Express  පුවත්පත ඒ සම්බන්ධයෙන් මවිතය පළකරමින් විස්තරයක් පළ කර තිබුනේය. හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේද අදහස් විමසමින් පළවූ එම ලිපියේ මෙසේ සඳහන් විය.

ශ්‍රී ලංකාවේ මිලියන 21ක ජනගහනය අතරින් මේ වන විට වාර්තා වී තිබෙන Covid-19 ආසාදිතයන් සංඛ්‍යාව 2033ක්ය. මරණ 11ක් සහ සුවය ලැබූ රෝගීන් 1639ක් වාර්තා වේ. දැනට 383දෙනෙක් රෝහල් තුළ ප්‍රතිකාර ලබයි. එක් අයෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
ජූනි 28වෙනිදා ශ්‍රී ලංකාව පුරා පනවා තිබූ ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලැබීය. ඊට පෙර ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ විවිධ අදියර ක්‍රියාත්මක වූ අතර අවශ්‍ය වූ අවස්ථාවලදී නැවත පනවනු ලැබීය.
නව කොරොනා වෛරසය පාලනය වී ඇති බව පෙන්නුම් කිරීම නිසා අගෝස්තු 1වෙනිදා සිට ගුවන් තොටුපොළ සංචාරකයන් සඳහා යළි විවෘත කිරීමට සලකා බලන බව සඳහන්ය. අවදානම පහව ගොස් නැතත් ශ්‍රී ලංකාව තුළ දැනට වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාවෙන් වැඩි ප්‍රමාණයක් විදෙස් රටවල සිට නැවත පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ය. The Indian Express පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ වෛද්‍ය අනිල් ජාසිංහ පවසා තිබෙන්නේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් පිහිටුවා තිබෙන ප්‍රමිති දිගටම පවතිනු ඇති බවය.

ඉන්දියාවට දකුණින් පිහිටි පුංචි දිවයින තුළ කොරෝනා ආසාදිතයන් සහ මරණ අඩු සංඛ්‍යාවක් වාර්තා වීම පිළිබඳව  අප කළ විමසීමකදී ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ අදහස් පළ කර තිබේ.

"සියයට සියයක ආරක්ෂාවකට ළඟා වීමට අපට නොහැකිය. නමුත් එම මට්ටමට ළඟා වීමට දරන උත්සාහයක් ලෙස අප විවිධ ක්‍රම යොදාගන්නවා. එමනිසා ආසාදිත පුද්ගලයෙක් සමාජයට ගියොත් එම පුද්ගලයා සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයන්ව හඳුනාගෙන තත්ත්වය පාලනය කරගැනීමට අපට හැකිය"

නමුත් මෙය ශ්‍රී ලංකාව ලබා තිබෙන ජයග්‍රහණයක් නොවන බව ඔහු අවධාරණය කළ අතර මේ වන තෙක් කිසිවෙකු කොරෝනා වෛරසයට එරෙහි සටන ජය ගෙන නොමැති බව සඳහන් කළේය.
අගෝස්තු මාසේ මුල සිට ගුවන් තොටුපොළ විවෘත කළද සංචාරකයන් පැමිණීම ආරම්භ වන්නේ අගෝස්තු අග සිට බව සඳහන්ය. එමෙන්ම එසේ විවෘත කළද සංචාරකයන් විශාල සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු නොවන බවද සඳහන්ය. වසංගතයට පෙර සෑම දිනකම ගුවන් යානා 100ක්ද මගීන් 6000-10000 අතර ප්‍රමාණයක්ද පැමිණ ඇත. දැනට බලාපොරොත්තු වන්නේ ගුවන් තොටුපොළ විවෘත කළ විට ඉතා කුඩා ප්‍රමාණයක් පැමිණෙනු ඇති බවය.

 වෛද්‍ය අනිල් ජාසිංහ තවදුරටත් මෙසේ කියයි

"සංචාරක කර්මාන්තයට සම්බන්ධ පුද්ගලයන් සමඟ මම කතා කළා. අපි සංචාරකයන්ව ගෙන්වාගන්නා ආකාරය, ශ්‍රී ලංකාව තුළ සංචාරය කිරීමට ඉඩ සලසා දෙන ආකාරය සහ ඔවුන් රටින් පිටවීම පිළි බඳව ලේඛන සකස් කර තිබෙනවා. රටට පැමිණෙන පුද්ගලයන්ව RT-PCR පරීක්ෂණයට ලක් කරනු ලබනවා. ගමන ආරම්භයට පෙර එම පරීක්ෂාව සිදු කරගෙන තිබුණද ඇතුල් වීමට පෙර එය නැවත සිදු කළ යුතුය. ඇතුල් වූ පසුව පස්වෙනි දිනයේදී සහ හයවෙනි දිනයේදී නැවත RT-PCR පරීක්ෂාවට ලක් කරනවා. තනි සංචාරකයන්ට පැමිණීමට අවසර නොමැතියි. සංචාරකයන් 8 දෙනෙක්ගෙන් හෝ ඊට වැඩි පිරිසකගෙන් සමන්විත කණ්ඩායම් සඳහා අවසර ලැබේ. පවුලේ සමාජිකයන් අඩු ප්‍රමාණයකින් යුත් පවුල් සඳහාද අවසර ලැබේ. ඒ ඔවුන් තම රටෙහි සංචාරක නියෝජිතයෙකු හරහා කලින්ම වෙන් කර ඇත්නම් සහ චාරිකාව සඳහා නියම කරගත් මුදලක් කලින්ම ගෙවා ඇත්නම්ය.  සංචාරක කාල සීමාව වනුයේ දින 6 සිට 7 දක්වාය.

"ඔවුන් රැඳී සිටින කාලය පුරාවට සෞඛ්‍ය බලධාරීන් ඔවුන්ගේ තොරතුරු තබා ගනියි. ඔවුන් ශ්‍රී ලංකාව තුළ ගත කරන 5වෙනි සහ 7 වෙනි දින අතර ඔවුන් සඳහා PCR පරීක්ෂණ සිදු කරනු ලබයි. පරීක්ෂණයේ වාර්තාව ලබාගැනීමෙන් තොරව ඔවුන්ට නැවත රටින් පිට විය නොහැකියි. සංචාරකයක් දිනකට හෝ දෙකකට ශ්‍රී ලංකාවට පැමිණ මෙහි වෛසරය දමා අතුරුදහන් වී යෑම අපගේ අපේක්ෂාව නොවේ.”

ආසාදිතයන් සංඛ්‍යාව අඩු මට්ටමක පවත්වාගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ කලින්ම සූදානම් වීම හේතුවෙන් බව ජාසිංහ පැවසීය.

ශ්‍රී ලංකාවේ එකම ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී උෂ්ණත්වය මැන බැලීම ආරම්භ වී තිබෙන්නේ ජනවාරි මස මැදදීය. පළමු පී සී ආර් රසායනාගාරය ආරම්භ වූයේ ජනවාරි 26වන දින අතර ඊට පසුවදා චීන කාන්තාවක් ශ්‍රී ලංකාව තුළ ප්‍රථම ආසාදිතයා ලෙස වාර්තා විය. එම කාන්තාවව හුදෙකලා කර රෝහල්ගත කරනු ලැබීය. ඇය හරහා වෙනත් කිසිම පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේශණය වී නොතිබුණි. වෛරසය ආසාදිත ප්‍රථම ශ්‍රී ලාංකිකයා වූයේ ඉතාලි කණ්ඩායමක් සමඟ සංචාරක මඟ පෙන්වන්නෙක් ලෙස කටයුතු කළ තැනැත්තෙක්ය. මාර්තු 29වෙනිදා ශ්‍රී ලංකාව තුළ ප්‍රථම කොරෝනා මරණය වාර්තා විය.
ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් හරහා වෛසරය පැමිණීම හේතුවෙන් ආසාදිතයන් ඉහළ යෑමේදී මැයි 20වන දින සිට ඇඳිරි නීතිය යටතේ රට අගුළු දමනු ලැබීය. එම තහංචි දින 52කින් පසුව, එනම් මැයි 11 දින ලිහිල් කරනු ලැබීය. ඒ වන විට ශ්‍රී ලංකාව තුළ වාර්තා වී තිබූ ආසාදිතයන් සංඛ්‍යාව 850ක්ය.
නාවික හමුදා කඳවුරක් ආශ්‍රිතව කොරෝනා පොකුරක්ද දක්නට ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අප්‍රියෙල් 23 දක්වා පුද්ගලයන් 4000ක් පමණ නිරෝධායනයට යොමු කරනු ලැබීය. මෙම නාවික පොකුර 910කට වැඩි පිරිසක් දක්වා වර්ධනය විය. මෙම පිරිස සහ විදේශ රටවලට ගොස් සිට නැවත පැමිණි ආසාදිත ශ්‍රී ලාංකිකයන් හේතුවෙන් මෙරට ආසාදිත සංඛ්‍යාව ඉහළ යන ලදි.

පුත්තලම, කොළඹ, කලුතර සහ ගම්පහ යන ප්‍රදේශ අවදානම් කලාප බවට පත් විය.

“අපි මුලින්ම කළේ රෝගීන්ව හඳුනාගැනීමයි. එමෙන්ම ඉතා පරෙස්සමින් ඔහු ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමයි. අනවශ්‍ය ලෙස වෛරසය පැතිරීමට අප ඉඩ තැබුවේ නැහැ”
“පොකුරු හරහා රෝගය සමාජය පැතිර යෑමට ඉඩ දීමට අපට අවශ්‍ය වූයේ නැහැ. රෝගය පොකුරු තුළම පවත්වාගැනීමට අපට හැකි වුණා. සෑම රෝගියෙකු පිළිබඳවම සහ ඔවුන්ගේ සබඳතා සියල්ල පිළිබඳව දැනගත හැකි තත්ත්වයක් උදා කරගැනීමට අපට අවශ්‍ය වුණා. මේ වන තෙක් එසේ සිදු කිරීමට අපට හැකි වූ නිසා කිසිම අවස්ථාවක සමාජයේ පැතිර යෑමක් දක්නට ලැබුණේ නැහැ. අපි ඊට ඉඩ තැබුවේ නැහැ. තදබල ලෙස ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයන්ව සොයාබැලීම, නිරෝධායනය සඳහා තදබල මෙහෙවරක් තබා ගැනීම අපට උපකාරවත් වුණා” ජාසිංහ පැවසීය.

මෙම සාර්ථකත්වයට ශ්‍රී ලංකාව තුළ පවතින සෞඛ්‍ය පද්ධතියද ඉමහත් දායකත්වයක් ලබා දී තිබෙන බව ජාසිංහ පැවසීය. 2016දී මැලේරියාව තුරන් කිරීමට මෙයින් අවස්ථාව උදා වූ බව හෙතෙම පවසයි. මූලික සෞඛ්‍ය මධ්‍යස්ථාන, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ‍රෝහල්වලින් සමන්විතව ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතිය පිරමීඩ හැඩයක් ගනී.
‘ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රය නොසලකා හැර නැහැ. සෞඛ්‍ය පරීක්ෂකවරු, මහජන සෞඛ්‍ය සේවිකාවන් මෙහි සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි සිටිනවා. හොඳ රෝහල් පද්ධතියක් තිබෙනවා. සෑම කිලෝමීටර 1.5කටම රජයේ සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් තිබෙනවා’

“සමාජයීය මට්ටමේ පැතිර යෑමක් ඇති වුවොත් විශාල පරීක්ෂණ සංඛ්‍යාවක් සිදු කළ යුතුයි. මුම්බායිවල තත්ත්වය ඒකයි. ශ්‍රී ලංකාව තුළ අප පරීක්ෂණ සිදු කළේ ඉලක්කගත කණ්ඩායම් සඳහාය. ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා අප රෝහල් තෝරාගත් අතර කොරෝනා ප්‍රතිකාර සඳහා වෙන් කළ හුදෙකලා ඒකක සෑම රෝහලක් තුළම පිහිටවීය. උණ සහ ශ්‍වසන පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් එම ඒකකවලට යොමු කරනු ලැබුවා. ඔවුන් සඳහා පී.සී.ආර් පරීක්ෂණ සිදු කරන ලදි. ඉන්පසුව අපි OPDවල අහඹු පරීක්ෂණ සිදු කළා. ඉන්පසුව මත්ස්‍ය වෙළඳපොළවල, ත්‍රීරෝද රථ රියැදුරන් අතර වැනි සමාජය හා ගැටෙන පුද්ගලයන් අතර අහඹු පර්යේෂණ සිදු ‍කළා. ඉහළ අවදානම් පුද්ගලයන් තුළ ආසාදිතයන් වාර්තා වීම දක්නට ලැබුණේ සියයට 2ක් පමණයි. එමනිසා අපට සමාජයීය වශයෙන් පැතිර යෑමක් නැති හෙයින් නගරයට ගොස් සෑම පුද්ගලයෙකුගෙන්ම සාම්පල ලබාගැනීමේ අවශ්‍යතාවයක් මේ දක්වා පැනනැගුනේ නැහැ”
වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.

The Indian Express - June 30, 2020