ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් කණ්ඩායමක් ලෙස පෙනී සිටිමින් දිවයින පුරා ඖෂධ වෙළඳසල් හිමිකරුවන් රවටමින් මුදල් ගරන කල්ලියක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.  මෙම වංචාකාරි  කල්ලියට හසුවුණු ඖෂධ වෙළඳසල් හිමියන් රැසක්ම ඒ සම්බන්ධයෙන් පොලීසියට ද පැමිණිලි කර ඇති බව වාර්තාවේ. ඊට අමතරව ඔහු ඒ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කමල් ජයසිංහ මහතාට ද පැමිණිලි කර ඇත.  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ වෙළඳසල් පරික්ෂා කිරීමෙහි කටයුතුවලට සම්බන්ධ කණ්ඩායමේ  නිලධාරින් ලෙස පෙනී සිටිමින් මෙම කල්ලිය ඖෂධ වෙළඳසල් හිමියන් රවටමින් මුදල් ගැරිමෙහි නිරතව සිටින බව අනාවරණය වී ඇත.


තම නිලධාරින් කණ්ඩායමේ සුහද හමුවක් හෝ එසේත් නැතිනම් විවාහ මංගල උත්සවයක් හෝ  වෙනත් පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා බව කියමින්  දුරකතන මාර්ගයෙන් ඖෂධ වෙළඳසල් හිමියන් අමතන  මෙම ජාවාරම්කරුවන් කල්ලිය ඒ සඳහා විවිධ ආකාරයට මුදල් ප්‍රමාණයන් ඉල්ලා සිටින බව කියයි. ඉන් අනතුරුව ඔවුන් සඳහන් කරන බැංකු ගිණුමකට අදාළ මුදල් බැර කරන ලෙස ද ඔවුහු දන්වා සිටිති.  මේ ආකාරයට රුපියල් දස දහසේ සිට විසිපන්දහස දක්වා මුදල් මොවුන් විසින් ඖෂධ වෙළඳසැල් හිමිකරුවන්ගෙන් ඉල්ලා ලබාගෙන ඇති බව ද මෙම පිරිස ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් යැයි රැවටී ඔවුන්ට ඇති බිය නිසාම බොහෝ ඖෂධ වෙළඳසල් හිමියන් එසේ ඉල්ලන මුදල් ලබා දීමට  පෙළඹී ඇති බව ද අනාවරණය වී තිබේ.  ඉදිරි දිනයක දී ඔබේ වෙළඳසල පරික්ෂා කිරිමට පැමිණෙනවා. ඊට පෙර අපට අවශ්‍ය මුදල් දමන්න යැයි මෙසේ නිලධාරින් ලෙස පෙනී සිටින පිරිස තර්ජනාත්මකව පවසන බව ද කියයි.  

ව්‍යාපාරික ස්ථානවල නාමයන්, හිමිකරුවන්ගේ නාමයන් සහ පෞද්ගලික දුරකථන අංක පවා දැන සිටින මෙම කල්ලිය ඉතා සූක්ෂමව ඖෂධ වෙළඳසැල් හිමියන් රවටමින් මෙම වංචාවේ නිරතව සිටින බවට  මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන පොලීසිය සඳහන් කරයි.  මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කමල් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ මෙම වංචාකාරී ක්‍රියාවට  මේ වනවිට දිවයින පුරා ඖෂධ වෙළඳසැල් හිමියන් රැසක්ම හසුවී තිබෙන බැවින් ඒ පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් කර ඇති බවය. තමන්ට යම් ගැටලුවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විමසීමට හැකියාව තිබිය දී ඖෂධ වෙළඳසැල් හිමියන් මේ ආකාරයට වංචාකරුවන්ට හසුවීම පිළිගත නොහැකි බව ද වෛද්‍ය කමල් ජයසිංහ මහතා සඳහන් කළේය.

-පුෂ්පකුමාර ජයරත්න-