මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කහව හා අකුරල අතර ප්‍රදේශයේදී පෙරේදා (28දා) භික්ෂූන්වහන්සේ නමක් දුම්රියක ගැටීමෙන් අපවත් වී ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය පවසයි.
 


ඇල්පිටිය, ගණේගොඩ පුරාණ රජමහ විහාරස්ථානයේ විහාරාධිකාරි පිටුවල සාරද (30) භික්ෂූන් වහන්සේ මෙසේ අපවත්වී ඇත.

කොළඹ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියේ මෙම භික්ෂූන් වහන්සේ පෙරේදා (28) රාත්‍රී 8.45 ට ගැටීමෙන් අනතුරට පත්ව ඇති බව
පොලිස් පරික්ෂණවලදී තහවුරු වී තිබේ. මෘත දේහය මේ වන විට බළපිටිය මූලික රෝහලේ තැත්පත් කර තිබෙන බවත් පොලීසිය පවසයි.

මෙම  භික්ෂුන් වහන්සේ ත්‍රිරෝද රථයකින් පෙරේදා (28) සවස 4.30 ට පමණ අම්බලන්ගොඩට පැමිණ තිබෙන බව පොලිස් පරික්ෂණවලදී තහවුරු වී තිබේ. මීට මාස කිහිපයකට පෙර අපවත් වූ නායක භික්ෂූන් වහන්සේ නමකගේ දානයට අවශ්‍ය බඩු මිල දී ගැනීමට කොළඹ යන බව අදාළ ත්‍රිරෝද රථයේ රියදුරාට දැනුම් දී තිබෙන බවද ඒ මහතා විසින් පොලීසියට ප්‍රකාශ කර තිබේ.

කාළඹ යන බව පවසා ඇල්පිටියෙන් අම්බලන්ගොඩට පැමිණි මෙම භික්ෂූන් වහන්සේ අකුරල හා කහව ප්‍රදේශයට ගියේ කුමන හේතුවක් නිසාද යන්න සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදුකරන බවද අම්බලන්ගොඩ පොලීසිය පවසයි.


 - තමිඳු මධුසර ලියනගේ -