ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ බිහිවූ විශිෂ්ටම පිතිකරුවා ලෙස සැලකෙන ඔස්ටේ‍්‍රලියාවේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් පැලැඳි හරිත පැහැ ටෙස්ට් හිස්වැස්ම ඔස්ට්‍රේලියානු ව්‍යාපාරිකයෙකු වන පීටර් ෆ්‍රීඩ්මන් විසින් ඔට්‍රේලියානු ඩොලර් 450,000ක මුදලකට මිලදීගෙන ඇත.

රෝඩ් මයික්‍රෆෝන්හි නිර්මාතෘ වන ෆ්‍රීඩ්මන්ගේ අරමුණ වී ඇත්තේ බ්‍රැඩ්මන්ගේ මෙම හිස්වැස්ම ඔස්ටේලියාව පුරා රැගෙන යමින් සමස්ත ඔට්‍රේලියානුවන්ටම නැරඹීමට සැලැස්වීමයි.

1928 වසරේ නොවැම්බර් මස බ්‍රිස්බෙන්හිදී බ්‍රැඩ්මන් එංගලන්තයට එරෙහිව සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩාකළ අතර, එතැන් සිට වසර 20ක් ඔහු පැලඳි හිස්වැස්ම මෙලෙස වෙන්දේසියේදී අලෙවී වී ඇත.

බ්‍රැඩ්මන්ගේ අසල්වැසියෙකු වූ පීටර් ඩන්හැම් වෙත මෙම හිස්වම 1959 වසරේ ත්‍යාගයක් ලෙස ලබාදී ඇත. ක
ෙසේ නමුත් පසුකාලීනව ඩන්හැම් මුහුණ දුන් මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් අවසානයේ මෙම හිස්වැස්ම මෙලෙස වෙන්දේසි කිරීමට සිදුව ඇත.

ආසන්න වශයෙන් රුපියල් කෝටි 06කට වැඩි (රු. 63,240,000) අගයක් ගන්නා මෙය ක්‍රිකට් මතක සටහනක් සඳහා ලොව ගෙවනලද දෙවැනි ඉහළම වටිනාකම ලෙස සැලකෙයි. ක්‍රිකට් මතක සටහන් අතර වෙන්දේසියකදී අලෙවි වූ ඉහළම අයිතමය ලෙස සැලකෙන්නේ මෙම වසර මුලදී අලෙවි වූ ඔස්ටේලියානු හිටපු පාදඟ පන්දු යවන ශේන් වෝර්න් පැලඳි ටෙස්ට් හිස්වැස්මයි. එය ඔට්‍රේලියානු ඩොලර් 1,007,500කට ආසන්න වශයෙන් රුපියල් කෝටි 14කට (142,057,500) වැඩි අගයකට වෙන්දේසි වී ඇත.

ක්‍රිකට් ලොව අමරණීය චරිතයක් බවට පත්ව සිටින බ්‍රැඩ්මන් 1928-1948 කාලසීමාව තුළ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩාකළ අතර, එම කාලය තුළ ඔහු ටෙස්ට් තරග 52කට ක්‍රීඩාකර ලකුණු 6,996ක් රැස්කිරීමට සමත් විය. ඊට ශතක 29ක් හා අර්ධ ශතක 13ක් ඇතුළත් විය.

ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට බ්‍රැඩ්මන්ගේ පිතිකරණ සාමාන්‍ය 99.94ක් ලෙස දැක්වූ අතර, ඊට ආසන්නයට හෝ ළඟාවීමට මෙතෙක් කිසිඳු පිතිකරුවෙකුට හෝ හැකිවී නැත.

ක්‍රිකට් පිටියේ බිහිවූ විශිෂ්ටම ක්‍රීඩකයා වන බ්‍රැඩ්මන් ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් 1949 වසරේදී නයිට් නාමය හිමිවිය. බ්‍රැඩ්මන් එකල හැඳින්වූයේ පිතිකරුවන් තිදෙනෙකු තරම් වටිනා වස්තුවක් ලෙසය.

- විශ්ව මුදියන්සේ -