මහනුවර බූවැලිකඩ, සංඝමිත්තා මාවතේ පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී එයට යටවීමෙන් ජීවිත තුනක් අහිමි වීමේ සිද්ධිය සම්බන්ධ නඩු විභාගය මහනුවර අතිරේක මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා හමුවේ ඊයේ (08) වැනිදා පැවැති අවස්ථාවේ නඩුවේ පැමිණිල්ල මෙහෙය වීමට පොලිස් නිලධාරීන් අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් විනිසුරුවරයා පොලිසියට දැඩි ලෙස අවවාද කළේය. 

මෙදින නඩුවේ පැමිණිල්ල මෙහෙය වීමට මහනුවර පොලිසියේ අපරාධ අංශයේ නිලධාරින් අධිකරණයේ පෙනී නොසිටීම නිසා විනිසුරුවරයා නඩුවේ කටයුතු පසුවට කල් තබා උසස් පොලිස් නිලධාරියකුට වහාම අධිකරණයට පැමිණෙන ලෙසට නියෝග කළේය.


විනිසුරුවරයාගේ කැඳවීම මත අධිකරණයට පැමිණි මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.බී. පළිහවඩන මහතා අධිකරණයේ කරුණු දක්වමින් තමන් වෙත මෙදින නඩුව සම්බන්ධයෙන් කිසිවකු දැනුම් නොදුන් බවත් ඒ අයුරින් දැනුම් දීමක් කළේ නම් අනිවාර්යයෙන් අධිකරණයට පැමිණෙන බවත් දන්වා සිටියේය.

පොලිස් නිලධාරින් නඩුවට අදාළව පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වීමට අධිකරණයට නොපැමිණීම පිළිබඳව තමන් පරික්ෂණයක් පවත්වා ඔවුන් සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ගයක් ගන්නා බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.බී. පළිහවඩන මහතා විනිසුරුවරයා හමුවේ ප්‍රකාශ කළේය.

නඩුවේ සැකකරු වන අනුර ලෙව්කේ නමැත්තාට මහාධිකරණයෙන් ලබා දුන් ඇප නියෝගය විවෘත අධිකරණයේ දී විනිසුරුවරයාගේ නියෝග මත දැනුම් දුන් අධිකරණයේ භාෂණ නිලධාරිනිය (තෝල්කවරිය) ඇප කොන්දේසි ඉදිරිපත් කරමින් සැකකරුට රුපියල් විසිපන් දහසක (රු. 25000/-) මුදල් ඇප සහ ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.

සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සමන් තන්ත්‍රිගේ මහතා පෙනී සිටි අතර නඩුවේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ධම්මිකා ආරියදාස මහත්මිය ඇතුළු නීතිඥ පිරිසක් පෙනී සිටියහ. නඩුවේ ඊළඟ විභාගය ජනවාරි 19 වැනිදාට කල් තැබිණි.

 - ජේ.ඒ.එල්. ජයසිංහ -