දිගු පටියක් සවි කරන ලද අතු බෑගයක්  තුළ ජංගම දුරකතනයක් සූක්ෂම ලෙස රඳවාගෙන එම බෑගය කරේ එල්ලා ගෙන තරුණ කාන්තාවන්ගේ හා තරුණියන්ගේ රහස් ප්‍රදේශ ඉතා රහසිගතව වීඩියෝ කළ බව පැවසෙන හතළිස් හැවිරිදි පුද්ගලයෙකු පෙරේදා (12දා) සවස නිට්ටඹුව නව වෙළෙඳ සංකීර්ණය තුළදී ජංගම දුරකථන 4 ක්ද සමග අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.  සැකකරු නිට්ටඹුව ප්‍රදේශයේ 
විවාහකයකු වන හිටපු යුද හමුදා සෙබළකු බවද  පොලිසිය කියයි. මෙම සැකකරු කැබ් රථයකින් නිට්ටඹුව නගරයට පැමිණ නගරයේ වෙළෙඳ සල් දෙකක් තුළට ගොස් එම වෙළෙඳ සල් තුළ ගවුම් වලින් සැරසී සිට ඇති තරුණියන් දෙදෙනකුගේ කලවා ප්‍රදේශ හා රහස් ප්‍රදේශ වීඩියෝ ගත කර ඇති බව පොලිසිය පවසයි.


මෙම පුද්ගලයා තම දණ හිස දක්වා පහත් වන ලෙසට බෑගයක් කරේ එල්ලාගෙන තරුණ ගැහැණු ළමයින් රැඳී  සිටින වෙළෙඳ සල් තුළ සැක කටයුතු ලෙස හැසිරෙමින් කුමක් හෝ නීති විරෝධී  ක්‍රියාවක් සිදු කරන බවට නිට්ටඹුව නගරයේ  නව වෙළෙඳ සංකීර්ණය අසල ත්‍රීරෝද රථ රියැදුරකුට සැක සිතී ඇති බව පොලිසිය කියයි.  එම ත්‍රීරෝද රථ රියැදුරා තවත් ත්‍රීරෝද රථ රියැදුරකුගේ ද සහාය මත සැකකරු අල්ලාගෙන ඇති බව පොලිසිය කියයි. රියැදුරන් දෙදෙනා සැකකරුගේ බෑගය පරික්ෂා කිරීමට සුදානම් වන විට බෑගය තුළ රහසිගතව රඳවා ගෙන සිට ඇති ජංගම දුරකතන සැකකරු වහා බෑගයෙන් එළියට ගෙන එය පොළවේ ගසා ඇති බවද පොළවේ ගැසු ජංගම දුරකතනය කෑලි කිහිපයකට කැඩි එය ක්‍රියා විරහිත වී ඇති බවද පොලිස් නිලධාරීහු පැවසූහ.


ත්‍රීරෝද රථ රියැදුරන් දෙදෙනා එම අවස්ථාවේ කැඩී ගිය දුරකථනයේ සිම්පත ඉවතට ගෙන එන වෙනත් ජංගම දුරකථනයකට යොදා ක්‍රියාත්මක කර බැලීමේදී තරුණ ගැහැණු ළමයින් දෙදෙනකුගේ කලවා ප්‍රදේශ හා රහස් ප්‍රදේශ එහි වීඩියෝ ගත වී තිබෙන අයුරු  නිරීක්ෂණය වී ඇති බවද පොලිසිය කියයි. එම වීඩියෝ දර්ශන නිට්ටඹුව නගරයේ වෙළෙඳ සල් දෙකක් තුළදී විඩියෝ ගත කරන ලද එවා බවට ද වැඩිදුරටත් අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.  සැකකරු ත්‍රීරෝද රථ රියදුරන්ගේ ග්‍රහණයේ සිටියදී නගරයේ ව්‍යාපාරිකයන් නිට්ටඹුව පොලිසියට කරන ලද දැනුම් දීමකට අනුව නිට්ටඹුව පොලිසියේ කිහිප දෙනකු වහා පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.


සැකකරු සමග අත්අඩංගුවට පත් දුරකථන මෙමරිපත වැඩිදුරටත් පරික්ෂා කිරීමේදී තරුණියන්ගේ කලවා ප්‍රදේශ හා රහස් ප්‍රදේශ විඩියෝ ගත කරන ලද දසුන් ගණනාවක්ම එම සිම්පතින් නිරික්ෂණය වූ   බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.  මෙම හිටපු යුද හමුදා සෙබළා දිග පටියක් සවි කර කරේ එල්ලා ගෙන සිටි ඇති බෑගයේ ඇතුළත ඉහළ කෙළවරක ජංගම දුරකථන ආවරණයක් අලවා ජංගම දුරකථනයක් එම ආවර්ජනය තුළට දමා දුරකතනය රඳවා තිබෙන ස්ථානයේ බෑගයේ සිදුරක් සකස් කර දුරකථනයක් මගින් මෙම වීඩියෝ ගත කිරීම් සිදු කර ඇති බව බෑගය පරික්ෂා කිරීමේදී හෙළි වූ බව පොලිසිය කියයි.  සැකකරු සමග ඔහු පැමිණි කැබ් රථය සහ එහි තබා ඇති ජංගම දුරකථන 3 ක්ද, සැකකරු සන්තකයේ තිබි මුදල් රුපියල් 49,000 ක් ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.