සංඝමිත්තා තෙරණිය ශ්‍රී  මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ලක්දිවට රැගෙන ආ උඳුවප් පොහෝ දින
සූරියවැව තරුණයකු අසිරිමත් අන්දමින් බෝධි රෝපණයක් සිදු කළේය. බෝධීන් වහන්සේගේ උස අඩි 110යි. වට ප්‍රමාණය අඩි 22කි.

සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ලක්දිවට ශ්‍රී  මහා බෝධීන් වහන්සේ වැඩම කරවූ උඳුවප් පුන් පොහොය
යෙදුණු ඊයේ (29දා) සූරියවැව වැලිවැව පදිංචි තරුණයකු විසින් හලාවත, හස්නායකපුර විහාරස්ථානයේදී
අසිරිමත් බෝධි රෝපණයක් සිදු කරනු ලැබීය.


දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ඇඹිලිපිටිය බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ඕමල්පේ
සෝභිත හිමිපාණන් වහන්සේගේ උපදෙස් හා අනුශාසනා පරිදි මෙම බෝධීන් වහන්සේ රෝපණය කිරීම කෙරිණි.
මෙම බෝධීන් වහන්සේ රෝපණය කිරීමේ ඇති විශේෂත්වය වන්නේ මේ තරම් විශාල බෝධීන් වහන්සේ නමක් පිහිටි පොළොවෙන් ආරක්ෂිතව ඉවත් කර වෙනත් ස්ථානයකට රැගෙන ගොස් රෝපණය කළ ප්‍රථම අවස්ථාව මෙය වීමයි. මෙලෙස රෝපණය කෙරුණු බෝධීන් වහන්සේගේ උස අඩි 110ක් පමණ වන අතර, කඳෙහි වට
ප්‍රමාණය අඩි 22කි. එහි මූල පද්ධතියෙහි වට ප්‍රමාණය අඩි 28කි.

මේ දැවැන්ත කාර්යය සිදුකරනු ලැබුවේ ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පියකු වූ සූරියවැව වැලිවැව
පදිංචි 39 හැවිරිදි තිදරු පියකු වන අෑපා ජයවර්ධනගේ ජනක ජයලාල් මහතා විසිනි. අසිරිමත් බෝධි
රෝපණය සිදුකිරීමේ කාර්යයේ නිරත වූ සූරියවැව ජනක ජයලාල් මහතා මෙලෙස අපත් සමඟ අදහස් දැක්වීය.

“පසුගිය ජුනි මාසයේ දිනක් ඕමල්පේ සෝභිත නායක හාමුදුරුවන් මා හමුවීමට මගේ ගෙදරට පැමිණියා. ඒ
ඇවිත් උන්වහන්සේ මගෙන් ඇහුවා ජනක මහත්තයා හලාවත කර්මාන්තශාලාවක් තුළ බෝධීන් වහන්සේ නමක් ඉන්නවා. ඒ බෝධීන් වහන්සේ හලාවත විහාරස්ථානයකට රැගෙන ගොස් රෝපණය කරන්න ඕනෑ.

ඒක පුළුවන්ද කියලා ඇහුවා. මම කිව්වා අපේ හාමුදුරුවනේ පළමුවෙන්ම බෝධීන් වහන්සේ බලන්න ඕනෑ
කියලා. ඒ අනුව උන්වහන්සේ මාව හලාවත බෝධීන් වහන්සේ පිහිටි කර්මාන්ත ශාලාවට එක්කරගෙන ගියා. එහෙම ගිහින් මේ බෝධීන් වහන්සේ ගැන විමසා බලලා බෝධීන් වහන්සේ රෝපණය කිරීමේ කටයුත්ත භාරගත්තා. ඉතා විශාල දැවැන්ත බෝධි වෘක්ෂයක් නිසා වැසි කාලෙට කලින් මෙම බෝධීන් වහන්සේ මෙම ස්ථානයෙන් ගලවා ගෙනගොස් නැවත රෝපණය කිරීම දැවැන්ත අභියෝගයක් වුණා. ඒ අනුව මා මගේ සේවකයන් එක්ක දින 08ක් එක දිගට බෝධීන් වහන්සේගේ මූල පද්ධතිය එළියට මතුකරගැනීම සිදුකළා. මෙම බෝධීන් වහන්සේ ‘රූට් බෝල්’ ක්‍රමයට තමයි අපි සිටුවීම සිදුකරන්න කටයුතු කෙරුණේ. ජුනි මාසයේ මැද වගේ අපි බෝධීන් වහන්සේ ‘රූට් බෝල්’ කර මූලික සැකසීම් කළා.

පසුගිය ජූලි මාසේ මැද වන විට එය රෝපණ කිරීමට සූදානම් කරගෙන සිටියත් කොරෝනා වසංගත තත්ත්වය නිසා එය කරගන්න බැරි වුණා. පසුව උඳුවප් පෝය දවසේ මෙම බෝධීන් වහන්සේ රෝපණය කිරීමට කටයුතු සංවිධානය කෙරුණා. මම දන්න ඉතිහාසයේ කවුරුවත් මේ විධියට මේ තරම් විශාල වෘක්ෂයක් තැනකින් තැනකට රැගෙන ගොස් සිටුවීම සිදුකරලා නෑ. මේක මටත් මගේ මේ වෘත්තීය ජීවිතය තුළත් විශේෂ අවස්ථාවක්” යැයි ඔහු පැවැසීය.

මේ දැවැන්ත කාර්යයෙහි නියමුවාණන් හා උපදේශකයාණන් ලෙස කටයුතු කළ පූජ්‍ය ඕමල්පේ සෝභිත
නාහිමියන් වහන්සේ මෙලෙස අදහස් දැක්වූහ.

“මේ පුන් පොහෝ දිනයේ සිදුවූයේ අසිරිමත් බෝධි රෝපණයක්. ලොව පළමු වතාවට තමයි මෙවැනි සිදුවීමක් මේ වෙන්නේ. මේක අසිරිමත් බෝධි රෝපණයක් යැයි කියන්නේ අන් කිසිවක් නිසා නොව කිසි කලෙක අපි අසා නැති ලෝක ඉතිහාසයේ කවදාවත් අප දැක නැති විශේෂිත අවස්ථාවක් නිසයි. ගසේ උස අඩි 110යි, කඳේ
මහත අඩි 22යි. මූල පද්ධතියේ වට ප්‍රමාණය අඩි 28යි. හලාවත, මාරවිල, හාල්පන්විල ග්‍රීන් ෆාම්
ආයතන පරිශ්‍රයේ තමයි මෙම බෝධීන් වහන්සේ තිබෙන්නේ. එහි සිදුවෙන සංවර්ධන කටයුත්තක් සඳහා මෙමබෝධීන් වහන්සේ ඉවත් කළයුතු වුණා. ඒ අනුව එම ආයතනයේ අධිපතිතුමන් මගෙන් උපදෙසක් ඉල්ලුවා මෙම බෝධීන් වහන්සේ කපන්නේ නැතිව වෙනත් ස්ථානයක රෝපණය කිරීමට. ඒ අනුව තමයි මම සූරියවැව ජනක මහතා වෙත මෙම කාර්යය පැවරුවේ.


විශේෂයෙන්ම මෙහිදී මා කියන්න ඕනෑ මෙය හුදෙක්ම බෝධීන් වහන්සේ නමක් රෝපණය කිරීමක්ම විතරක් නෙමෙයි. සමස්ත රට වැසියාටම හොඳ ආදර්ශයක් පාඩමක් කියාදෙන කටයුත්තක් ලෙසයි මෙය සිදුකරන්නේ. මෙය හුදු ජාතික අවශ්‍යතාවක්. ගහක් කියන්නේ අසීමිත වටිනාකමක් ඇති මිනිසුන්ගේ කල්‍යාණ මිත්‍රයෙක්.
ඒකට හේතුව තමයි මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය වන ඔක්සිජන් ලබා දෙන්නේ මේ ගස් මඟින් වීම. ඒ
නිසා මේ තුරුලතා ආරක්ෂා කර ගැනීම ජනතාවගේ වගේම පාලකයන්ගේත් පරම වගකීමක්.

ගහේ කොළේ විනාශය කියන්නේ මිනිසාගෙත් විනාශය කියන එකයි. මෑත යුගයේ පමණක් වන විනාශ සිදුකිරීම් අතින් ඉතා කනගාටුදායක අත්දැකීම් රැසක් ලබා සිටින අවධියක තමයි අප මේ බෝධීන් වහන්සේ රෝපණය කරන්නේ. විවිධ සංවර්ධන කටයුතුවලට හා වෙනත් කටයුතු වෙනුවෙන් හෙක්ටයාර දහස් ගණන් කැලෑ එළි
කිරීම් සිදුවෙලා තියෙනවා. සංවර්ධනයට කියා මේ විදිහට ගහ කොළ සිටුවන්නේ නැතිව විනාශ කරලා
දැමීම විතරක් කළොත් අපිට නොමිලේ ලැබෙන ඔක්සිජන් ටිකත් කඩෙන් සල්ලිවලට ගන්න තැනට පත්වෙනවා.

අපි රජයට අවධාරණය කරනවා ගහක් කියන්නේ අමිල වස්තුවක්. මිල කළ නොහැකි දෙයක්. ඒ නිසා
සංවර්ධන කාර්යයන්වලදී හැකි තරම් ගස්කොළන් කැපීම අවම කරන ලෙසත් හැකි සෑම අවස්ථාවකම
සංවර්ධනයේදී ඉවත් කිරීමට සිදුවන ගස් වෙනත් ස්ථානයක සිටුවීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ඉල්ලනවා.

හැමදෙනාම සිහියේ තබාගත යුතු කරුණක් නම්  “තුරුලතා” යනු අපගේ අත්‍යන්ත මිත්‍රයෝය කියන එක.
ගස්කොළන් විනාශය යනු අපගේද විනාශය” කියන එක.

මානව ප්‍රජාවගේ වගේම සමස්ත සත්ත්ව සංහතියේම පැවැත්මට උපකාරී වන තුරුලතා අපි රැකගත යුතුයි
කියන පාඩම තමයි මේ අපි රටට කියා දෙන්නේ. ඒ නිසා සමස්ත ජනතාවගෙන්ම මා ඉල්ලනවා මේ බෝධීන්
වහන්සේ වගේම රට පුරා ඇති සියලුම ගස් වැල් බෝධීන් වහන්සේලා යැයි සිතා ඒවා රැකගැනීමට කටයුතු
කරන්න කියා” යැයි උන්වහන්සේ පැවැසූහ.

මත්තල _ ඩී. එන්. ජයසේකර