COVID-19 වෛරසය පාලනය සදහා චීනයේ සිනෝවැක් බයෝටෙක් සමාගම මගින් නිෂ්පාදනය කෙරුණු සිනෝවැක් එන්නන් තොගයේ දෙවැනි කොටස පසුගියදා බ්‍රසීලය වෙත පිටත් කිරීමට චීන බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. මෙහිදී එන්නත් ලක්ෂ 20ක් බ්‍රසීලය වෙත යවා තිබේ.




බ්‍රසීලය අද වනවිට ලොව තෙවැනියට වැඩිම ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වන රට බවට පත්ව තිබේ. එරට සෞඛ්‍ය බලධාරීන්ට අනුව බ්‍රසීලය තුළ මේ දක්වා වාර්තා වී ඇති COVID-19 හා සම්බන්ධ සිදුවීම් සංඛ්‍යාව ලක්ෂ 70ක් ඉක්මවා තිබේ.

මේ තත්වයත් සමග බ්‍රසීලය තුළ තත්වය පාලනය සඳහා චීනයේ සිනෝවැක් බයෝටෙක් සමාගම මෙම එන්නත් තොගය මෙලෙස බ්‍රසීලය වෙත යවා තිබේ.

මෙහිදී බ්‍රසීලය වෙත යවන එන්නත් සහිත සෑම ඇසුරුමක් මතම බ්‍රසීලයේ සාඕ පාලෝ නුවර පිහිටි පර්යේෂණ ආයතනයක් වන Butantan Institute යන නමද සදහන් කර ඇතැයි චීන මාධ්‍ය පවසයි. පසුගිය ජූලි මාසයේ සිට බ්‍රසීලය තුළ මෙම සිනෝවැක් එන්නතේ තෙවැනි අදියරේ අත්හදා බැලීම සදහා සහයෝගය ලබාදී ඇත්තේද මෙම පර්යේෂණ ආයතනයයි.  මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති චීනයේ සිනෝවැක් බයෝන්ටෙක් සමාගමේ මහජන සබඳතා අධ්‍යක්ෂවරයා,

"අපි බ්‍රසීලය වෙත COVID-19 එන්නත් මාත්‍රා ලක්ෂ 19.1ක් යැවීම සිදු කරනවා. මෙය එරට සාමාන්‍ය ජනතාව වෙත ලබාදීම සඳහා අනුමැතිය ලැබුණු එන්නත් තොගයේ දෙවැන්නයි.  පළමු වැනි කොටස ලෙස ලීටර් 600ක් එසේත් නැත්නම් එන්නත් ලක්ෂ 10ක් බ්‍රසීලය වෙත යැවුණා.” යනුවෙන් පවසා සිටියි.

මෙහිදී බ්‍රසීලය වෙත යවන එන්නත් ඇසුරුමකම උෂ්ණත්වය මැනිය හැකි උපාංගයක් සවිකර තිබෙන බවත්, එමගින් එන්නත් වඩාත් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට කටයුතු යොදන බවත් සිනෝවැක් බයෝටෙක් සමාගම පවසයි.
සමාගමට අනුව මෙම එන්නත සෙල්සියස් අංශක 2ත් 3ත් අතර උෂ්ණත්වයක ගබඩා කර තැබිය හැකිය.

බ්‍රසීලයට අමතරව ඉදිරියේදී මෙම සිනෝවැක් එන්නත ඉන්දුනීසියාව සහ තුර්කිය වෙත යැවීමට කටයුතු සූදානම් කර ඇතැයිද සමාගම සඳහන් කරයි. ඒ අනුව මෙම ඉල්ලුම සැපයීම සඳහා සිනෝවැක් සමාගමේ සේවකයන් සේවා වාර 3 බැගින් පැය 24 පුරා සේවය කරමින් සිටින බවත් පවසයි.

මේ අතර 2020 වසර අවසන්වීමට පෙර සිනෝවැක් සමාගම සිය දෙවැනි නිෂ්පාදන ඒකකය පිහිටුවීමට අදහස් කරගෙන සිටියි. ඒ හරහා වසරකට එන්නත් මිලියන 600ක් නිපදවීමට හැකිවනු ඇතැයිද සමාගම පවසයි. එහිදී චීනයට පමණක් නොව සමස්ත ලෝකයටම මෙමො COVID-19 වළකන එන්නත් ලබාදීම සිනෝවැක් හි අරමුණ වී තිබේ.

කෙසේ වෙතත් තවමත් මෙම එන්නත චීනය තුළ පොදු භාවිතය සදහා මෙතෙක් වෙළෙඳ පොළ අනුමැතිය හිමිව නොමැත. එහෙත් දේශීයව එම එන්නත් බෙදාහැර ඒවා ලබාදීමේ කටයුතු සැකසීම සදහා චීනය සූදානමින් සිටියි. "අද වනවිට චීනය තුළ ශීතකරණය කළ ට්‍රක් රථ යොදා ගනිමින් මේ එන්නත් ගොඩබිමින් ප්‍රවාහනය කරනවා. ඒ වගේම සැලකිය යුතු ප්‍රදේශවලට ගුවන් ප්‍රවාහනය යොදා ගන්න සිදුවෙනවා.” යැයි සිනෝවැක් බයෝටෙක් සමාගමේ මහජන සබඳතා නිලාධාරීවරයා පවසයි.