ගුවන්තොටුපොළ හා සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය අරඹමින් පළමු සංචාරක කණ්ඩායමෙ දිවයිනට පැමිණියේය. ඒ අනුව ඊයේ (28දා) දහවල් 2.08ට PQ555 දරන ස්කයි අප් ගුවන්යානයෙන් යුක්රේනයේ කිවී (kiev) නුවර සිට යුක්රේන සංචාරකයෝ 186 දෙනෙක් මත්තල ගුවන්තොටුපොළින්  ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔවුන් අතර යුක්රේන ජාතික ළදරුවන් 20 දෙනකු පමණ සිටීමද විශේෂත්වයකි.

දිවයිනට පැමිණි පළමු සංචාරක කණ්ඩායම පිළිගැනීම සඳහා සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග,
ගුවන්තොටුපොළ රාජ්‍ය ඇමැති ඩී.වී. චානක, ගුවන්තොටුපොළ සහ ගුවන් සමාගමේ සභාපති විශ්‍රාමික
මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ඔවුන් පිළිගැනීම සඳහා විශේෂ නර්තනයක් සංවිධානය කර තිබුණේ
ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසිනි. පැමිණි සියලුම සංචාරකයන්ට තේ මණ්ඩලය විසින් දේශීය තේ ඇතුළත් ත්‍යාග
පාර්සලයක්ද ලබාදුන්නේය. ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම පැමිණි සියලුම සංචාරකයන්ට විශේෂ සංග්‍රහයක්ද කළේය.

ඊයේ (28දා) දිවයිනට පැමිණි යුක්රේන සංචාරක කණ්ඩායම පැය 72කට පෙර පී.සී.ආර්. පරීක්ෂාවට
ලක් කෙරුණු අතර ඔවුන්ට අදාළ හෝටල්වල ලැගුම් ගැනීමට පෙර තවත් පී.සී.ආර්. පරික්ෂාවකට ලක්කෙරිණි.
ඉදිරි දින 07 තුළ ඔවුන්ට යළි පී.සී.ආර්. පරීක්ෂාවක් සිදු කිරීමට සැලසුම් කර තිබේ. ඔවුන් දින 10ක්
මෙරට තුළ රැඳී සිටීමට නියමිතය. කොග්ගල ප්‍රදේශයේ වෙරළාශ්‍රිත ප්‍රදේශවල ඔවුන් ලැගුම්ගන්නා
අතර එම ප්‍රදේශවාසීන්ට සංචාරකයන් ගැවසෙන ප්‍රදේශවලට යෑමට ඉඩ නොලැබේ.

පළමු සංචාරක කණ්ඩායම දිවයිනට පැමිණීමට පෙර මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පැවැති මාධ්‍ය
හමුවකට එක්වෙමින් සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ඊයේ (28දා) සිට ජනවාරි
24 දින දක්වා මෙම සංචාරක නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි. රුසියානු සමූහාණ්ඩුවට අයත්
රටවලින් සංචාරකයන් 2,580ක් මෙරටට පැමිණීමට නියමිත බවද ඔහු කීවේය. සංචාරක බුබුළ (Travel
Bubble) සංකල්පය යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය ක්‍රියාත්මකයි. හ¾දුනාගත් කලාපයක මෙම
අයට නවාතැන් සැපයෙන බවත් ඔවුන් සහ ප්‍රදේශවාසීන් අතර කිසිදු සම්බන්ධයක් ඇති නොවන පරිදි මෙය
සැලසුම් කර ඇති බවත් ඇමැතිවරයා කීවේය.

මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳ විශ්ලේෂණය කර එහි අඩුපාඩු හ¾දුනාගෙන ඒවාද නිවැරැදි
කර ගනිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ලබන ජනවාරි මස අගදී ගුවන්තොටුපොළ නිල වශයෙන් යළි විවෘත
කිරීමට අපේක්ෂා කරන බවද ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියා සිටියේය. ඒ අනුව වාණිජ
ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් බවද ඔහු අවධාරණය කළේය.

කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් මෙරට ගුවන්තොටුපොළ වසා දැමුණේ පසුගිය මාර්තු 19 වැනිදායි. ඒ
අනුව පසුගිය මාස 09ක කාලය පුරා මෙරටට කිසිදු සංචාරකයකු නොපැමිණි අතර ගුවන්තොටුපොළ මෙහෙයුම්
ක්‍රියාත්මක වූයේ විදෙස්ගත ශ්‍රමිකයන් රැගත් විශේෂ ගුවන්යානා සඳහාත්, ගුවන් භාණ්ඩ ප්‍රවාහනය
හා මගී හුවමාරු කටයුතු සඳහාත් පමණි.


සිය ජීවනෝපාය අහිමි වීම හේතුවෙන් මෙරට සංචාරක ව්‍යාපාරයේ ඍජුව හා වක්‍රව යැපුණු ලක්ෂ
30කට ආසන්න පිරිසක් පීඩාවට පත්වූහ. මේ තත්ත්වය සැලකිල්ලට ගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,
අගමැති මහින්ද රාජපක්ෂ, ආර්ථික පුනර්ජීවන කමිටු සභාපති බැසිල් රාජපක්ෂ, සංචාරක ඇමැති ප්‍රසන්න
රණතුංග මහත්වරුන්ගේ විශේෂ මැදිහත් වීම මත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපොළ හා රට
සංචාරකයන්ට විවෘත කිරීමට සැලසුම් කෙරිණි.

සංචාරකයන් මෙරටට ගෙන්වීම සඳහා සංචාරක සංවිධාන ආයතන 03ක් ඉදිරිපත්ව තිබිණි. ඒ අනුව අගමැති
මහින්ද රාජපක්ෂ හා සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් රුසියානු සමූහාණ්ඩුවට අයත්
රටවල සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කළහ. ඒ
සඳහා අනුමැතිය ලබාදෙමින් කැබිනට් මණ්ඩලය තීරණය කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය සිදුකිරීමටයි.

 එහෙත් කොවිඩ් - 19 දෙවැනි රැල්ල හේතුවෙන් එය තරමක් ප්‍රමාද වුවද සංචාරක ඇමැතිවරයා දිගින්
දිගටම රජයට කරුණු ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නියමු ව්‍යාපෘතියක් ලෙස ගුවන්තොටුපොළ හා
සංචාරකයන්ට රට විවෘත කිරීමට තීරණය කෙරිණි. ඊට අදාළව සංචාරකයන් මෙරටට පැමිණීම සඳහා වීසා
අයැදුම් කිරීමේ සිට මෙරටට පැමිණ ආපසු සිය රට බලා යෑම දක්වා කාලය තුළ අනුගමනය කළ යුතු
සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය අංශ සකස් කර සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට
යොමු කළ අතර ඇමැතිවරයා එය ගුවන්තොටුපොළ හා සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට යොමුකර තිබේ.

මෙම නියමු ව්‍යාපෘතිය යටතේ මේ ආකාරයට ගුවන් යානා 13කින් මත්තල ගුවන්තොටුපොළ වෙත විදේශීය
සංචාරකයන් රැගෙන ඒමට නියමිත බවද ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර
මහතා සඳහන් කළේය.

මේ අතර ගාල්ල වරායේ නැංගුරම් ලා තිබෙන නෞකාවක සේවය සඳහා පැමිණි නෞකා කාර්ය මණ්ඩල
සාමාජිකයන් 17 දෙනකු රැගෙන ‘ඉන්දිගෝ’ ගුවන් සේවයට අයත්  6E9034 දරන ගුවන්යානය ඉන්දියාවේ
චෙන්නායි නුවර සිට ඊයේ (28දා) අලුයම 2.51ට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට
ගොඩබෑ බව මත්තල ප්‍රධාන ගුවන්තොටුපොළ කළමනාකරු පැවැසීය.

මෙරටට පැමිණි නෞකා කාර්ය මණ්ඩල සාමාජිකයන් 17 දෙනා ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළදීම
විසබීජහරණයට ලක්කිරීමෙන් පසු ගාල්ල ප්‍රදේශය බලා රැගෙන යෑමට කටයුතු කෙරිණි. ගුවන්යානය
නැවතත් අලුයම 3.50ට මගීන් රැගෙන යළි ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගියේය.

මත්තල _ ඩී.එන්. ජයසේකර, කටුනායක _ ගයා තිරිමාදුර