කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් පළමු වරට වාර්තා වූයේ මීට හරියටම වසරකට පෙර, දෙසැම්බර් මස අවසන් සතියේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.
 
වයිරසය ආසාදිතයන් හමුවීමට පටන්ගෙන වසරක් ගතවද්දී, කෝවිඩ් 19වයිරසය ලෝකයේ රටවල් සහ පාලන ප්‍රදේශ 218 වඩා වැඩි සංඛ්‍යාවකට පැතිර ගොස් තිබෙන අතර මේ වනවිට ඇන්ටාටිකාවෙන් පවා වයිරස ආසාදිතයන් වාර්තා වී ඇත.

ලොව නන්දෙසින් ඊයේ (29) වනවිට වාර්තා වූ සමස්ත කෝවිඩ්-19 වයිරස ආසාදිතයන් ගණන 81,673,280 පසු කළ අතර, වාර්තා වූ වයිරස ආසාදිත මරණ ගණන 1,781,544 ඉක්මවීය. තවමත් ලොව වැඩිම කොවිඩ්-19 වයිරස ආසාදිතයන් සහ වයිරස ආසාදිත මරණ වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. උණ සහ සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ පෙන්නුම් කරමින්, නියුමෝනියා තත්ත්වයක් දක්වා ඔඩුදුවමින් මරු කැඳවන වයිරසයක් ගැන පළමුවෙන් චීන වෛද්‍යවරුන් බිය පළ කළේ පසුගිය වසරේ දෙසැම්බර් මස ආරම්භයේදීය.
ඒ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර ජීවී සත්ව මාංශ සහ මාළු වෙළෙඳපොළ කේන්ද්‍ර කොට ගනිමිනි. වූහාන් නුවර වයිරසය වේගයෙන් පැතිරෙද්දී, චීන සෞඛ්‍ය බලධාරින් ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දුන්නේ 2019 දෙසැම්බර් 28 වැනිදාය.

ලැබුණු දත්ත සහ තොරතුරු සැලකිල්ලට ගනිමින්, චීනයේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමින් මාරක වයිරසයක් පැතිරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකය දැනුවත් කළේ පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදාය. එසේ අනතුරු ඇඟවුවත්, එය ගෝලීය වසංගතයක් වේවි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ චීන සෞඛ්‍ය අංශ හෝ දැන සිටියේ නැත. වයිරසයේ සුලමුල තහවුරු කර ගැනීමට අපොහොසත් වුවත්, එය කොරෝනා වයිරස පවුලේ නව වයිරසයක් බව චීන විද්‍යාඥයන් තහවුරු කළ අතර, එහි ජාන ව්‍යුහය ජාත්‍යන්තරය සමඟ බෙදා ගැනීමට ද පියවර ගැනිණි.

කොරෝනා වයිරස පවුලට අයත් නිසාත් 2019 වසරේ දී හමුවුණු නිසාත් නව කොරෝනා වයිරසය, කොවිඩ් 19 යන නිල නාමයෙන් හැඳින්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වසරේ පෙබරවාරි 11 වැනිදා පියවර ගත්තේ ය.

වවුලන් සහ කබැල්ලෑවන් හරහා වයිරසය මිනිසුන්ට පැතිරෙන්න ඇති බවට අනුමාන කළ ද තවමත් එය තහවුරු වී නැති බව ද පැවැසෙයි.

චීන රජයට අයත්, වයිරස පර්යේෂණ ආයතනයක් වූහාන් නුවර පිහිටා ඇති අතර, කොරෝනා වයිරස වලට අයත්, මීට පෙර රටවල් රැසකට පැතිරුණු 'සර්ස්' සහ 'මර්ස් වැනි වයිරස පමණක් නොව, නව කාරෝනා වයිරස ප්‍රභේද පවා මෙම පර්යේෂණ ආයතනයේ ගබඩා කර ඇති බවත්, ඒවා නිරන්තරයෙන් පර්යේෂණවලට යොදා ගන්නා බවත් පැවැසෙයි.

කෝවිඩ්-19 වයිරසය වූහාන් නුවර පිහිටි එම පර්යේෂණ ආයතනය තුළ කෘත්‍රීමව නිපදවන ලද්දක් යැයි ඇමෙරිකා එක්සත් ජනපද සහ ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ සැක කරයි.
එය අත්වැරැදීමකින් වූහාන් වැසියන් අතරේ පැතිරෙන්නට ඇතැයි ද ඔවුහු සැක කරති.

මෙම චෝදනා ඔප්පු කිරීමට ද හැකියාවක් ලැබී නැත. ආසියාවේ විශාලතම වයිරස ගබඩාව ලෙස හැඳින්වෙන්නේ ද මෙම වූහාන් පර්යේෂණාගාරයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය, කොවිඩ් 19 වයිරසය ගෝලීය වසංගත තත්ත්වයක් බව නිවේදනය කළේ මාර්තු 11 වැනිදාය. ඒ, විදේශවලට වයිරසය පැතිරෙද්දීය. චීනයෙන් පිට පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වූයේ තායිලන්තයෙනි. ඉත්පසු දකුණු කොරියාවට, ජපානයට වයිරසය පැතිර ගියේය. ආසාදිතයන් සහ මරණ ඉහවහා යද්දී, පසුගිය අප්‍රේල් මාසයේදී රටවල් බොහොමයක් තහංචි පනවමින් 'ලොක්ඩවුන් කෙරුණි. ඒ, වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමේ අරමුණින් යැයි මාධ්‍ය වාර්තා සිහිපත් කරයි.

චීනයෙන් පිට පළමු වරට කොරෝනා වසංගත තත්ත්වයක් නිර්මාණය වූයේ ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙනි. ඉන්පසු ඇමෙරිකාව ඇතුළු ලතින් ඇමෙරිකා කලාපයට වයිරසය පැතිර ගියේය. ඇමෙරිකාවෙන් ඊයේ (29) වනවිට වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන 19,781,624 කි. එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 3,43,182 කි. දෙවැනියට වැඩිම මරණ වාර්තා වන්නේ බ්‍රසිලයෙනි. බ්‍රසීලයෙන් වාර්තා වන මරණ ගණන 1,91,641 කි. ආසාදිතයන් අතින් බ්‍රසීලය පසුවන්නේ තෙවැනි ස්ථානයේය. බ්‍රසීලයේ කොවිඩ් 19 ආසාදිතයන් ගණන 7,505,890 කි. ඇමෙරිකාවට පසු දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාවේ ආසාදිතයන් ගණන ඊයේ (29) වනවිට 10,224,797 ක් ලෙස දැක්විණි.