COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා හි ලෝන්ග් බීච් රෝහල තුළ මාස 8කට ආස කාලයක් ප්‍රතිකාර ලැබූ 66 හැවිරිදි වියේ පසුවන එරට ජ්‍යෙෂ්ඨ හෙදියක් පසුගියදා රෝහලෙන් පිටව ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මර්ලින් පැම්බුආන් නම් ඇය මෙම රෝහලේම වසර 40කට අධික කාලයක් දැඩි සත්කාර ඒකකයේ හෙදියක ලෙස කටයුතු කර ඇත. පසුගිය අප්‍රේල් මාසයේදී ඇයට වෛරසය ආසාදනය වී ඇති අතර, එහිදී ඇගේ තත්ත්වය බරපතළ වීමත් සමග පවුල් සාමාජිකයන් විසින් ඇය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදී තිබේ.
ප්‍රතිකාර ලබද්දී ඇය කොතරම් දුරට අසාධ්‍ය තත්ත්වයට පත්වූයේද යත් ඇගේ ජීවිතය මාස ගණනක් යන තුරුම
රෝහලේ වෛද්‍යවරුන්ට අනුව මෙම කාලසීමාවේදී ඇය අවස්ථා කිහිපයකදීම මරණය වෙත ගොස් ආපසු පැමිණ තිබේ. ඒ අනුව ඇය තුළ හටගත් අසාධ්‍ය තත්ත්වය හේතුවෙන් වෛද්‍යවරුත් ඇගේ ජීවිතය නිමා කිරීමේ විකල්පයක් වෙත යාම පිළිබදව පවුලේ සාමාජිකයන් සමග කිහිපවිටක්ම සාකච්ඡා පවත්වා තිබේ.
කෙසේවෙතත් ක්‍රමයෙන් සුව අතට පත්වූ ඇයට පසුව වෙන්ටිලේටර් උපාංගයෙන් තොරව තමන්ගේ ශක්තියෙන් හුස්ම ගැනීමේ හැකියාව ලැබී තිබුණි. එහෙත් අතිශය දුර්වලව සිටි ඇයට සිටගෙන ඇවිදීම අපහසු විය. කෙසේ හෝ වෛද්‍යවරුන් සහ හෙදියන් ලබාදුන් ප්රතිකර්මවල සහායෙන් ඇයට නැවතත් සිය ශරීරය ශක්තිමත් කරගෙන එහාමෙහා ඇවිදිය හැකි මට්ටමට සිය සෞඛ්‍ය තත්ත්වය දියුණු කරගැනීමට අවස්ථාව උදා විය.
පසුගිය ඔක්තෝබර් මාසයේදී තමන් රඳවා තිබූ වාට්ටුවේදී සිය 66 වැනි උපන්දිනය සමරන්නට ඇයට හැකිවන්නේ එම යහපත් තත්ත්වයත් සමගිනි.
ඒ අනුව පුරා මාස අටකට ආසන්න කාලයක් රෝහල්ගතව සිටි ඇය පසුගිය සදුදා වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යමණ්ඩලයේ සියලු දෙනාගේම අත්පොලසන් මැද රෝහලෙන් පිටව ගියාය. එහිදී තම දෙපයින්ම ඇය රෝහලේ දොරටුව වෙත ඇවිද යමින් පිටව ගියේ COVID-19 වැලදීමෙන් අනතුරුව ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ තමත් දැන් වඩාත් ශක්තිසම්පන්න බව හොදින් පෙන්වමිනි.
"මෙය මගේ දෙවැනි ජීවිතයයි.” ඇය රෝහලෙන් පිටවීමට පෙරාතුව පවසා තිබුණි. අසාධ්‍ය තත්වයේ සිට තමන්ගෙන් ප්‍රතිකාර ලැබූ රෝගියකු මෙලෙස පූර්ණ සුවය ලබා රෝහලන් පිටව යාම තමන්ට වඩාත් සතුටුදායක අවස්ථාවක් බවද රෝහලේ වෛද්‍යවරු පවසා සිටියි. එසේම මෙවැනි වයසකදී COVID-19 වැනි වඩා දරුණු වෛරසයකින් පවා බේරීමට හැකියාව ලැබීම මර්ලින් සතු සුවිශේෂීතාවක් බවද ඔවුන් පවසයි.
"මෙන්න මේ දේට තමයි අපි ජීවත් වෙලා ඉන්නේ... අපෙන් ප්‍රතිකාර ලබපු රෝගියෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබලා හොද තත්වයෙන් ආපසු නිවෙස වෙත යන ආකාරය බලන්න" ඇයට ප්‍රතිකාර ලබාදුන් විශේෂඥ වෛද්‍යවරයෙකු සඳහන් කර තිබේ.
0 Comments