ඓතිහාසික විජිතපුර බළකොටුවට අයත් බැලුම්ගල අලහප්පෙරුමාගම ප්‍රදේශයේ පුරාවිද්‍යා වටිනාකමක් ඇති භූමියක් ඩෝසර් කර එම ස්ථානයේ තිබු සෙල්ලිපියක් සහිත පුරාවිද්‍යා ස්මාරකයක් රැගෙන ගොස් නිවසක මිරිස් අඹරන ගලක් ලෙස වසර ගණනාවක් යොදා ගැනීමේ සිද්ධියේ 
සැකකරුවන් දසදෙනා අද 30 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කැකිරාව මහේස්ත්‍රාත් යූ.එස්.කේ.කේ. වැරනියගොඩ මහතා පෙරේදා (28) නියෝග කළේය.

තම සේවාදායකයන්ට ඇප ලබා දෙන ලෙසට සැකකරුවන්ගේ නීතිඥවරුන් අධිකරණයෙන් කළ ඇප ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

සැකකරුවන් විසින් ඩෝසර් කර විනාශ කර දමා ඇති භූමිය සහ එම ස්ථානය ඩෝසර් කර රැගෙන ගොස් නිවසක මිරිස් අඹරන ගල ලෙස යොදාගෙන ඇති ස්මාරකය පුරාවිද්‍යා වටිනාකමක් ඇති ඒවාද යන්න පිළිබඳව පරික්ෂා කර බලා සවිස්තරාත්මක පුරාවිද්‍යා වාර්තාවක් මීළඟ නඩු දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් ද නිකුත් කළේය.

මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ විජිතපුර අලහප්පෙරුමාගම මොහිදීන් ජුම්මා මුස්ලිම් පල්ලියේ  සභාපති ජබර්දීන් මොහොමදු සියාබ්දීන්, එහි ලේකම් මුතාලිෆ් කයිරූෆ්,  භාණ්ඩාගාරික අහමුදු ලෙබ්බේ අන්වර් සහ එම පල්ලියේ අධීක්ෂණ නිලධාරින් වන නවුෆර් පිච්චෙයි නසූර්දීන්, ඊබ්‍රහිම් ලෙබ්බේ නවුෆර්, පුරාවස්තු ප්‍රවාහනය කළ රියැදුරු ඩබ්ලිව්.එම්. දිනේෂ් සංජීව වීරසිංහ, පුරාවස්තුව මිරිස් ගලක් ලෙස පාවිච්චි කළ මතාලි යුනයිදීන් යන සැකකරුවන් දස දෙනාය.

- උපාලි ආනන්ද -