ක්‍රිටි සනොන්, චන්දිගාර්හි පැවති චිත්‍රපට රූගත කිරීම් අතරතුර නැවත මුම්බායි බලා පැමිණ තමන් කෝවිඩ් 19ට ධනාත්මක යැයි තහවුරු වූ බව බදාදා දිනයේදී සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.
 
ක්‍රිටි සනොන් කොරෝනා වෛරසය සඳහා ධනාත්මක වී ඇති බවට මේ දින වල විශාල වශයෙන් පැතිර යන කටකතා කිහිපයකින් පසුව,
නිළිය තමා සැබවින්ම ඊට ධනාත්මක වී ඇති බව කෝවිඩ් පරීක්‍ෂාවෙන් තහවුරු වී ඇතැයි මෙසේ දැනුම් දී තිබේ. රාජ්කුමාර් රාඕ සමඟ චන්දිගාර්හි රූගත කිරීම්වල යෙදී සිටි ක්‍රිටී මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර තිබෙන අතර ඇය නිරෝධායනය වීම සඳහා නැවත මුම්බායි බලා පැමිණ ඇති බව වාර්තා වේ.

තමන් කෝවිඩ් ආසාදිතයෙකු බව තහවුරු කළ ඇය සිය සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, "මම කොවිඩ් 19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව සෑම කෙනෙකුටම දැනුම් දීමට කැමැතියි. මම සනීපයෙන් සිටින බැවින් කරදර වීමට කිසිම හේතුවක් නැහැ. BMC සහ මගේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව මාව දැන් නිරෝධායනය කරලා තියෙන්නේ."යනුවෙනි.

කෙසේවෙතත්, මේ වන විට ඇය වෛරසයට ධනාත්මක වීම හේතුවෙන් නිරෝධායනය වෙමින්  ඉතා විවේකීව සිටී. නමුත් මෙම විවේකයෙන් පසු ඉතා ඉක්මනින් සිය වැඩ කටයුතු නැවත ආරම්භ කරන බව ඇය පවසා ඇත. එමෙන්ම වසංගතය තවමත් පහව ගොස් නැති බව පවසන ඇය සියලු දෙනාම ඉතා ආරක්ෂිතව සිටිය යුතු බවද පවසා තිබේ.

පසුගිය සතියේ, වරුන් ධවාන්, නීතු කපූර්, මනීෂ් පෝල් සහ අධ්‍යක්ෂ රාජ් මේතා ද  ජග් ජග් ජෙයෝ (Jug Jug Jeeyo)චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර වෛරසයට ධනාත්මක වී ඇති බව හෙළි වී තිබුණි. එබැවින් චිත්‍රපටයේ රූගත කිරීම් දෙසැම්බර් මැද භාගය දක්වා අත්හිටුවා තිබේ. චන්දිගාර්හි කොවිඩ් 19 සිද්ධීන් ඉහළ ගොස් ඇති බැවින් බොලිවුඩ් චිත්‍රපට කිහිපයක් උතුරු ඉන්දියාවේ රූගත කෙරෙමින් පවතින බවද වාර්තා වේ. 

-(රිස්මි ඉෂාරා)