ඇමෙරිකා එක්සත් ජනපදයේ නිවෙස් තුළ සිදුකළ හැකි ක්ෂණික COVID-19 පරික්ෂා කට්ටලයක් සදහා අනුමැතිය ලබාදීමට එරට ආහාර සහ ඖෂද පාලනාධිකාරිය කටයුතු යොදා තිබේ. කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි Ellume නම් සමාගමක් මෙම පරික්ෂණ කට්ටලය නිර්මාණය කර තිබේ. ඕනම අයෙකුට සාප්පුවකින් මෙම කට්ටලය මිලදී ගැනීමේ හැකියාව පවතී.


එරට සෞඛ්‍ය බලධාරීන්ට අනුව මෙම COVID-19 පරීක්ෂණ ප්‍රතිඵල විනාඩි 20ක පමණ කාලයක් ඇතුළත ලැබීමට නියමිතව ඇත.

මෙහිදී එක් පරික්ෂාවක් සඳහා එක්සත්ජනපද ඩොලර් 30ක් එනම් රු.6,000කට ආසන්න මුදලක් වැය වෙයි. ලබන ජනවාරි මාසය වනවිට රට පුරා මෙවැනි පරික්ෂා කිරිමේ කට්ටල මිලියන තුනක් අලවි කිරීම එම සමාගමේ සැලසුම වී ඇත. එසේම ඉදිරි මාසවලදී තවත් මිලියන ගණනක පරික්ෂාවන් සිදුකරන බවත් පවසයි.

මෙලෙස නිවෙස් තුළදිම ක්ෂණික COVID-19 පරික්ෂාවන් සිදු කිරීම සදහා අවස්ථාව ලබාදීම COVID-19ට එරෙහි සටනේ දැවැන්ත සන්ධිස්ථානයක් බව එරට ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ කොමසාරිස් ස්ටීවන් හාහ්න් පවසා ඇත. "අපි මේ හරහා ඇමෙරිකානුවන්ට පරික්ෂණයට ලක්වීමේ අවස්ථාවන් වැඩි කරනවා. ඒ වගේම විද්‍යාගාර සහ පරික්ෂණ සැපයුම් සඳහා පවතින අවශ්‍යතාව සීමා කරනවා. විශේෂයෙන් ඇමෙරිකානුවන්ට තමන්ගේ  නිවෛතුළදීම වඩාත් ආරක්ෂිතව හිදිමින් සුවපහසුව පරික්ෂාවට ලක්වීමේ අවස්ථාව ලබාදී තිබෙනවා.” යනුවෙන් ඔහු සඳහන් කර සිටියි.