කොවිඩ් ආසාදනය වී සිට රෝහල්වලින් පිටව ගොස් සිටියදී මියගිය කාන්තාවන් දෙදෙනකුගේ මෘත ශරීර,
පී.සී.ආර්. පරීක්‍ෂණවලදී පොසිටිව් බව තහවුරු වී තිබියදීත් එම මළසිරුරු භූමදානය කිරීම සඳහා අධිකරණ
වෛද්‍ය නිලධාරිවරයා විසින් නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කරන බව සෞඛ්‍ය
සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පැවැසීය. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පැමිණිලි රාශියක් ඉදිරිපත් වී ඇති බවද වාර්තා වේ.

අධිකරණ වෛද්‍ය විශේෂඥයන් විසින් මෙවැනි අවස්ථාවලදී ජනතාවට තේරුම් යන අන්දමින් තමන්ගේ තීරණ
ප්‍රකාශයට පත් කළ යුතු බවත් එසේ නොවීමෙන් සමස්ත පද්ධතිය කෙරෙහිම ජනතාවගේ විශ්වාසය නැතිව
යන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.


මෙය බැලූබැල්මට වරදක් බව පෙනී ගියත් තාක්‍ෂණිකව විග්‍රහ කිරීමේදී මියගොස් ඇති දෙදෙනාම කොවිඩ්
ආසාදිත වී දින දාහතරකට වැඩි කාලයක් රෝහල් ගතව සිට නිවෙස්වලට පැමිණි අය බවත් මොවුන්ගේ ශරීර
තුළ මියගිය වයිරස් කොටස් තිබෙන්නට ඇති බවත් සඳහන් කරන වෛද්‍ය හරිත අලුත්ගේ පී.සී.ආර්.
පරීක්‍ෂණයකින් කොවිඩ් ආසාදිත බවට එක්වරම නිගමනය කිරීමේ හැකියාවක් නොපවතින බැවින් අධිකරණ
වෛද්‍යවරු ඒ පදනමින් පැහැදිලි තීරණයක් දිය යුතුව ඇතැයි සඳහන් කරයි. මෙවැනි අයගේ මළ සිරුරු
පී.සී.ආර්. පරීක්‍ෂණයකට භාජන කිරීම නොකළ යුතුව තිබුණු බවත්, කොවිඩ් සුව වී නිවෙස්වලට ගිය අයගෙන්
කිසිවකුටත් කොවිඩ් බෝනොවන තත්ත්වයක් තුළ මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික මාර්ගෝපදේශ
වෙනස් කර, ආසාදිතව රෝහල් ගතකරන අය දින 14කින් පසු රෝහලෙන් නික්ම යෑමේදී පී.සී.ආර්.
පරීක්‍ෂණවලට භාජන නොකිරීමට ඒ අනුව තීරණය කර ඇතැයිද වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දෙයි.

මෙවැනි අවස්ථාවලදී ප්‍රතිදේහ පරික්‍ෂාවක් සිදුකිරීමෙන් තාක්‍ෂණ විද්‍යාඥයන් ජනතාවට තේරෙන
විදියට පැහැදිලිව පෙන්නුම් කළ යුතුව ඇතැයිද හෙතෙම පවසයි.


ජේ. ටී. ද සිල්වා