පානදුර කෙතුමතී කාන්තා රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළු හය දෙනෙක් කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇතැයි පානදුර සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. කාර්ය මණ්ඩලයේ කොරෝනා වැළඳුණ ඉතිරි පස්දෙනා හෙදියන් හා සාත්තු සේවකයන් බව ද පැවැසේ.  

කොරෝනා රෝගී කාන්තාවකට ප්‍රතිකාර කර ඇති බවට තහවුරු වීමත් සමග රෝහල් කාර්ය මණ්ඩලයට සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයේ දී මේ බව තහවුරු වී ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේය. රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනෙක් ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් එහි අංශ කිහිපයක්ම තාවකාලිකව වසා දමා විෂබීජ හරණය කිරිමෙන් පසු නැවත විවෘත කර ඇතැයි ද එම ප්‍රකාශකයා පැවසීය. ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයන් සිව් දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදිතව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් වංසගත රෝග විද්‍යාඥ වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.



එම විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 167 දෙනෙකුට සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයෙන් අනතුරුව මෙම සිසුන් සිව් දෙනාට කොරෝනා ආසාදිත බවට තහවුරු කරගත් බව ද ඒ මහතා සඳහන් කරයි. දකුණු පළාතෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 334 දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත්  කෝවිඩ් මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලයේ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි. ඒ අතර ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 213 දෙනකු, මාතර දිස්ත්‍රික්කයෙන් 89 දෙනකු සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 32 දෙනකු වශයෙන් වන බව ද ඒ මහතා සඳහන් කරයි. මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිත පිරිස 630ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 383 දෙනෙකු, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 194 දෙනෙකු සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් 54 දෙනෙකු වශයෙන් වාර්තා වී ඇතැයි ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් අලුත්ගම, බේරුවල, පයාගල පොලිස් බල ප්‍රදේශවල ඉකුත් දින කිහිපයේ දී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණ 150කින් 134 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදිත බවට තහවුරු වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ  සෙනෙවිරත්න මහතා පවසයි. මෙම ආසාදිතයන් අතුරින් එක් අයකු මරණයට පත්ව ඇති අතර සෙසු රෝගීන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.  වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීගහතැන්න ග්‍රාම සේවා වසම් කොරෝනා රෝගීන් 37 දෙනකු වාර්තා වී ඇතැයි වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය පැවසුවාය.  


වලල්ලාවිට ප්‍රදේශයෙන් වාර්තා වූ 37 වැනි කොරෝනා ආසාදිතයා කරාපිටිය වෛද්‍ය පීඨයේ අධාපනය හදාරන සිසුවකු බව ද ගුණසිංහ මහත්මිය සඳහන් කළාය.  මඩකළපුව කලවංචිකුඩි පොලිස් ස්ථානයේ නිලධාරියකු  කොරෝනා ආසාදිත බවට හඳුනගෙන ඇතැයි පළාත්  සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය  අලකයියා ලතාකරන්  මහතා පවසයි.  එසේම, මඩකළපුව, වෙල්ලාවේලි සෞඛ්‍ය කොට්ඨාසයේ අයකුට ද කොරෝනා ආසාදිතව ඇති අතර ඔහු කොළඹ ප්‍රදේශයේ සිට පැමිණි අයකු බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.


නාවලපිටිය පොලිස් වසමට අයත් කැටඹුලාව තේ  වතුයායේ උඩ කොටසේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණියක් කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.  මෙම තරුණිය කිරුළපන ප්‍රදේශයේ සිට නාවලපිටිය  වෙත පැමිණ ඇති අතර ඇගේ නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටිය දී අසනීප වීම හේතුවෙන්  සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයක දී කොරෝනා ආසාදිත  බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.


මාරවිල ඉස්සන් කර්මාන්ත ශාලාවේ සේවකයන් 110  දෙනකු සඳහා සිදුකළ පී.සී.ආර්. පරික්ෂණවලින් 33 දෙනකු කොරෝනා වයිරස ආසාදිතව ඇතැයි ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි. ඒ අතර පිරිමි දෙදෙනකු සහ කාන්තාවන් 30ක් සිටින  අතර මොවුන් ප්‍රතිකාර සඳහා රත්නපුර සහ බිංගිරිය ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යැවීමට කටයුතු කර ඇතැයි ද සඳහන් වෙයි. ගාල්ල නාගරික බල ප්‍රදේශයේ සංචරණ සීමා පනවා ඇති ග්‍රාම නිලධාරි වසම් පහකින් කොරෝනා රෝගීන් සිව්  දෙනෙක් වාර්තා වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් වංසගත රෝග විද්‍යාඥ වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.  මෙම ග්‍රාම නිලධාරී වසම්වලින් ගතවූ දින කිහිපය තුළ දී  කොරෝනා ආසාදිත රෝගීන් 20 දෙනකු හමුවී ඇති බව ද සිංගාරච්චි මහතා සඳහන් කළේය.  කොරෝනා ආසාදිත තරුණයකු අධ්‍යාපන සහතිකයක් ලබාගැනීමට පැමිණීම හේතූවෙන් ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා  ඇතුළු 13 දෙනෙක් නිරෝධායනයට ලක් කර ඇතැයි  සෞඛ්‍ය අංශ පවසයි.



අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා ගම්පොළ ප්‍රදේශයට ගොස් සිටි පෞද්ගලික දුරකතන සමාගමක හය දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බව  සෞඛ්‍ය අංශ පවසයි.  කොරෝනා ආසාදිතයකුගේ නිවසට දනට වැඩි විහාරස්ථාන තුනක භික්ෂූන් වහන්සේ නිරෝධායනයට යොමු කර ඇතැයි ගම පොළ ඉහළ කෝරලේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි.  මෙසේ නිරෝධායනයට ලක් කර ඇත්තේ ගම්පොළ හතුගොඩ ශ්‍රී විජයාරාම විහාරස්ථානය, හැරකොල ආනන්දරාමය සහ හලාගම ජයමාලංකාරාමය යන විහාරස්ථානයි.  හලාවත සහ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි 48  දෙනෙකුට ද කොරෝනා වයිරසය ආසාදිතව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.  මින් බහුතරය ඉස්සන් හා කකුළුවන් අපනයනය කිරිමේ කර්මාන්ත ශාලාවක සේවය කරන්නන් වන අතර අනෙක් පිරිස හලාවත වැල්ලේ පදිංචිකරුවන් බව ද සෞඛ්‍ය අංශ පවසයි.


පිළිමතලාව දන්තුරේ පදිංචි සෞඛ්‍ය අංශ සේවිකාවන් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදිතව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මොවුන්ගේ ආශ්‍රිතයන් ද මේ වන විට නිරෝධායනයකට යොමු කර ඇතැයි ද පැවසෙයි.  බගවන්තලාව සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් එකම පවුලේ තිදෙනකු කොරෝනා රෝගීන් ලෙස හඳුනාගැනීමෙන් පසු එම ප්‍රදේශයේ සමස්ත ආසාදිතයන් පිරිස 26 දක්වා ඉහළ ගොස් ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. ගනේෂන් මහතා පවසයි.  මෙම බල ප්‍රදේශයේ පවුල් 1400ක් පමණ මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි ද ගනේෂන් මහතා සඳහන් කරයි.  කොරෝනා වයිරසය ආසාදිත අඹු සැමි යුවළක් අනුරාධපුර ගල්පෙත්තේත්ගම ප්‍රදේශයෙන් හමුවූ බව ඇලයාපත්තුව මහජන  සෞඛ්‍ය පරීක්ෂක සුරංග  ලංකාජීව මහතා පවසයි. බෝගම්බර බන්ධනාගාරයේ සිට පැමිණ තිබූ ඥාතියකුගෙන් මෙම යුවළට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ද ලංකාජීව මහතා සඳහන් කරයි. බෝගම්බර බන්ධනාගාරයේ සිට පැමිණි පුද්ගලයාට නිරෝධායනය වන ලෙසට සෞඛ්‍ය අංශ  උපදෙස් ලබා දී තිබිය දී ඔහු මල්වර උත්සවයකට සහභාගි වී ඇති බවත් අදාළ යුවළ ද එම උත්සවය සහභාගී වී ඇති බවටත් කරුණු තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.


ඇහැලියගොඩ දිවුරුම්පිටිය ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා ආසාදිතයන් පිරිස 205 තෙක් ඉහළ ගොස් ඇතැයි මහජන සෞඛ්‍ය බලධාරීහු පවසති. පසුගිය දින කිහිපයේ දී කොරෝනා ආසාදිත 98 දෙනකු ඇහැලියගොඩ ප්‍රදේශයෙන් ද 20 දෙනකු කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද හඳුනාගත් බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලතී ලොකුපෝතගම මහත්මිය සඳහන් කළාය.  දක්ෂිණ නාවික කඳවුරේ සේවය කරන තවත් සෙබළකු කොරෝනා රෝගියකු බවට තහවුරු වී ඇතැයි ගාල්ලට දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි. බඹරවාන මත්තක ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම  සෙබළා ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහල වෙත යොමුකර ඇතැයි ද සිංගාරච්චි මහතා පවසයි. මස්කෙළිය ඩී සයිඩ් වතුයායේ පදිංචි තරුණියකට කොරෝනා ආසාදිත වී ඇතැයි මස්කෙළිය මහජන සෞඛ්‍ය පරික්ෂක නරේන්ද්‍ර කුමාර මහතා පවසයි.


මෙම තරුණිය ඉකුත් 03 වැනිදා දෙහිවල සිට මස්කෙළිය ජංදේශයට පැමිණ ඇති බවත් ඇයගේ ආශ්‍රිතයන් කිහිප දෙනකු මේ වන විට නිරෝධායනය සඳහා යොමුකර ඇති බවත් කුමාර මහතා සඳහන් කරයි.  ගාල්ල උණවටුන බොනවිස්ටා ජාතික පාසලේ සහ හබරාදූව ධර්මික විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් දෙදෙනකුට සහ ඔවුන්ගේ මවුපියන්ට කොරෝනා ආසාදිතව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


ඒ අනුව ඔවුන් සිව් දෙනා මේ වන විට ප්‍රතිකාර සඳහා යොමු කර ඇතැයි ද සඳහන් වෙයි. තංගල්ලේ පාසල් ශිෂ්‍යාවක කොරෝනා රෝගී බවට සැක කර තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබීම නිසා පාසලේ අධ්‍යාපනය හදාරමින් සිටි අනෙක් දරුවන් නිවෙස් කරා රැගෙන යාමට ඔවුන්ගේ මවුපියන් ඊයේ (07) පියවර ගෙන තිබේ. සිසුවිය මේ වන විට තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු පී.සී.ආර්. පරික්ෂණයකට යොමු කර ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි.