ලොව පුරා දරුණු ලෙස ව්‍යාප්තව පවතින මාරාන්තික COVID-19 වසංගතයට එරහිව සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති එන්නත් හිමිකරගැනීමේ ඉහළ හැකියාවක් බටහිර දියුණු රටවල ජනතාවට හිමිවුණද, ලොව අඩු ආදායම් ලාභී දුප්පත් රටවල්වල වෙසන ජනතාවට එය හිමි කරගැනීමේ අර්බුදයක් පැන නැගී තිබෙන බව වාර්තා පවසයි.

ඒ අනුව ලොව පිහිටි දුප්පත් රටවල් අතරින් 70කම වෙසෙන ජනතාවගෙන් සෑම දස දෙනෙකුගෙන් නව දෙනෙකු වෙත මෙම එන්නත හිමි නොවනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. එහිදී මූලිකවම ලබන වසරේදී ලොව පුරා සිදුවන මෙම එන්නතේ විෂම බෙදාහැරීම හේතුවනු ඇතැයි සඳහන් වෙයි.


ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, Frontline AIDS, Global Justice Now සහ Oxfam යන සංවිධානවල එකතුවෙන් බිහිවුණු 'ජනතාවගේ එන්නත් සන්ධානය - People's Vaccine Alliance' නම් කණ්ඩායමක් මෙම කරුණු අනාවරණය කරයි.

දැනටමත් මෙම ඖෂධ නිෂ්පාදන සමාගම් මගින් නිපදවා ඇති සාර්ථක එන්නත් අතරින් බොහෝමයක්ම බටහිර රාජ්‍යයන් විසින් මිලදී ගෙන ඇත. මෙම සංඛ්‍යාව මිලියන ගණනකි. ඒ අතරින් බ්‍රිතාන්‍ය දැනටමත් එන්නත්කරණ වැඩසටහන් අරඹා තිබේ. එසේම කැනඩාව සහ එක්සත් ජනපදයත් තවත් යුරෝපා රාජ්‍යයන් කිහිපයක් මෙම වැඩසටහන් දියත් කිරීමට සූදානමින් සිටියි. මෙහිදී දියුණු වෙමින් පවතින සහ දුප්පත් රටවල පවතින අඩු පහසුකම්ද එන්නත ලබාදීමේ හැකියාවන් පසුපසට ඇද දැමීමට හේතුව වී තිබේ.

ඒ අනුව මෙම COVID-19 වළකන එන්නතේ වැඩි හිමිකමක් දියුණු රටවලට හිමිවනු ඇති බවත්, දුප්පත් රටවල් මෙම අවස්ථාවේදී COVID-19 එරෙහි සටනේදී දරුණු බැටකෑමකට ලන්වෙනු ඇති බවත් මෙම සංවිධාන එකමුතුව සඳහන් කරයි.