කොරෝනා වෛරසය මැඩපැවැත්වීම වෙනුවෙන් ජනතාවට ලබාදීමට එන්නත් මිලට ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ලෝක බැංකුව සමඟ සාකච්ඡා අරඹා ඇති බවත් රුපියල් බිලියන 10 ක ණයක් ලබා ගන්නට අයදුම් කර ඇති බවත් ද සන්ඩේ ටයිම්ස් පුවත්පත අද වාර්තා කර තිබේ.
මෙම එන්නත් මුල් වටයේදී ලබාගන්නට අපේක්ෂා කරනුයේ ජනතාවගෙන් 5 න් 1 කට එනම් සියයට 20 කට පමණි. පසුව ජනගහනයෙන් විශාල කොටසකට අවශ්‍ය එන්නත මිලදී ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ඒඩීබී) සහ යුරෝපා සංගමය (ඊයූ) වෙතින් අරමුදල් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව ද රජය උනන්දුවෙන් පසුවේ.
ෆයිසර් (ඇමරිකානු -ජර්මානු), ස්පුට්නික් 5 (රුසියානු), මොඩර්නා (ඇමරිකානු), ඔක්ස්ෆර්ඩ් (බ්‍රිතාන්‍ය) හා සිනොවැක් (චීන) එන්නත් මේ වනවිට ප්‍රචලිතව පවතින නමුත් මේ කිසිවක් තවම ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර නැත. මේවායේ හිතකර හා අහිතකර තත්වයන් ගැන නිසි තක්සේරුවක් නැතිව ලෝකයට සාපේක්ෂව කුඩා ජනගහණයක් සිටින රටකට එක්වරම එන්නත් අත්හදාබැලීම ලෝක සෞඛ්‍ය අංශ මගින් අනුමත කරන්නේ නැති බවද පැවසේ. අහිතකර තත්වයක් වෙතොත් එය රටේ සමස්තයටම අනපේක්ෂිත පලවිපාක ලැබෙන බැවිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සම්බන්ධ වන ජාත්‍යන්තර මුලපිරීමක් යටතේ ශ්‍රී ලංකාවට සිය ජනගහනයෙන් සියයට 20 කට එන්නතක් ලබා දෙන බවට මීට පෙරද සහතික විය.
ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා රෙගුලාසි පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා ඇත්තේ යෝජිත ආනයන බොහෝ දුරට රඳා පවතින්නේ එහි පිරිවැය ඵලදායීතාවය අනුව ආනයනය කළ යුතු එන්නත් වර්ගය මත ය.
ලෝක බැංකුව සමඟ කළ සාකච්ඡාවලට අමතරව එන්නත මිලදී ගැනීම සඳහා ප්‍රදාන ලබා ගැනීමේ හැකියාව පිළිබඳව ද රජය සොයා බලමින් සිටින බවද මෙම එන්නත් සෘණ උෂ්ණත්ව තත්ත්වයන් තුළ ගබඩා කිරීම අවශ්‍ය බැවින් සීතල දාම පහසුකම ගැන සොයා බලා ඇති බවද ඔහු පවසා තිබේ.
වෛරස මර්දනයට පෙරමුණේ සිටින සෞඛ්‍ය සේවකයින් සඳහා මෙම එන්නත මුලින් ලබා දීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති අතර විශේෂඥ කමිටුවක් විසින් එන්නත ලබා දියයුත්තේ කවර කණ්ඩායම්වලටදැයි ප්‍රමුඛතාවය ලබා දීමේ වැඩසටහනක්ද කඩිනමින් සකස් කරමින් සිටින බව වාර්තාවේ.
COVAX (COVID-19 එන්නත ගෝලීය ප්‍රවේශය) යනු ලොව පුරා රටවල් වලට බලපත්‍ර සහ අනුමැතිය ලැබීමෙන් පසු ආරක්ෂිත හා ඵලදායී එන්නත් සඳහා ලොව පුරා සාධාරණ ප්‍රවේශයක් මත ලබා දීම සඳහා එන්නත් නිෂ්පාදකයින් සමඟ කටයුතු කිරීම අරමුණු කරගත් ගෝලීය මුලපිරීමකි. ශ්‍රී ලංකාව මීට මාසයකට පමණ පෙර COVAX වෙත මූලික අයදුම්පත ඉදිරිපත් කර ඇති බවද වාර්තාවේ.
කමිටුවේ අදහස අනුව එන්නතක් ලබා ගැනීමට ඉක්මන් නොවීමට කාරණා මෙන්ම ඉක්මණ් වීමට කාරණාද ඇති බව වාර්තා කර තිබේ.
ඔවුන් අනතුරු අඟවා ඇත්තේ, ශ්‍රී ලංකාව එන්නතක කාර්යක්ෂමතාව පමණක් නොව, ආරක්ෂාව පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව පවසමිනි. සාමාන්‍යයෙන්, එන්නතක් නිෂ්පාදනය කිරීමට වසර 5-10 ක් පමණ ගත වන බවත් උදාහරණ ලෙස ඉබෝලා රෝගයට එරෙහි නිවැරදි එන්නතට වසර පහක් පමණ ගතවූ අයුරුත් සිහිපත් කර තිබේ. එන්නතක් වේගයෙන් සොයා ගන්නා විට කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව ගැන ප්‍රවේශම් විය යුතුය. එසේම ශ්‍රී ලංකාව වැනි රටකට පොදුවේ භාවිතයට ගත හැකි ආකාරයක්ද එහි පැවතිය යුතුය.
ප්‍රචලිතව ඇති එන්නත් අනුව ෆයිසර් සහ මෝඩර්නා එන්නත් ගබඩා කිරීම සඳහා අධික සීතලක් අවශ්‍ය බවත් එය ශ්‍රී ලංකාවට සුදුසු නොවිය හැකි නමුත් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය-ඇස්ට්‍රාසෙනෙකා සහ රුසියානු ස්පුට්නික් එන්නත් පිළිබඳව සොයා බලන බව බලධාරීන් දන්වා ඇත.
තවම සියයට සියයක් විශ්වාස එන්නතක් ගැන අදහසක් නැති බැවින් ආරක්ෂිත ගැටළු තිබිය හැකි නිසා අතුරු ආබාධ මතුවිය හැකි බැවින් කුඩා දරුවන්ට මුල්වටයේදී එන්නත් ලබානොදෙනු ඇති බවද ප්‍රකාශවී ඇත.
0 Comments