කොළඹ සිට අඹේපුස්සට දුම්රියකින් පැමිණි කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදිතව ඇති බවට අනාවරණය වීම හේතුවෙන් ඇය මිරිගම අසෙඛ්‍ය ශෛවද්‍ය කාර්යාලයට බාරදි රෝහල්ගත කළ බව 

අඹේපුස්ස දුම්රිය ස්ථානාධිපති ජී.ආර්.ඒ. සුබසිංහ මහතා පැවසිය. මෙම කාන්තාව බදුපදනම මත අඹේපුස්ස දුම්රිය ගමන් නිවාසයක ජීවත්ව සිට ඇති බවත් පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය වීමෙන් පසු නිවෙසේ රැඳී සිටින ලෙසට සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස්  නොපිළිපදිමින් කොළඹ ප්‍රදේශයට ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය. ඒ අනුව  නැවත එම කාන්තාව දුම්රියෙන් අඹේපුස්සට පැමිණි අවස්ථාවේ දී මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට දැනුම් දී ඇය ඔවුන්ට බාර දුන් බවත්, ඇය සමග දුම්රිය මැදිරියේ පැමිණි සියලු දෙනාගේ තොරතුරු සටහන් කර ගැනීමෙන් පසු ඔවුන් වෙනත් දුම්රියකින් පිටත් කර යැවූ බවත්,  ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.



වේයන්ගොඩ නගර සභා කම්කරු නිවාසවල පදිංචිකරුවන් 17 දෙනකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇතැයි අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. ඒ අනුව එම සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 234 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද එම කාර්යාලය සඳහන් කරයි.  කරාපිටිය රෝහලේ 36 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදිතව ඇතැයි කොවිච් 19 පැතිරීම වැළැක්වීමේ දකුණු  පළාත් මෙහෙයුම් මැදිරියේ ප්‍රධාන නිලධාරි චාමර  මහගමගේ මහතා පවසයි. සැකකටයුතු රෝගීන් ඇතුළත් කරන ගාල්ල කරාපිටිය 36 වැනි වාට්ටුවේ සිටි මෙම කාන්තාව 27  හැවිරිදි ගාල්ල මිලින්දූව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක වන අතර ඇගේ පියා ද කොරෝනා රෝගියකු  ලෙසින් හඳුනාගෙන ප්‍රතිකාර ලබන බව ද මහගමගේ මහතා පවසයි.      


මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පී සී.ආර්. පරීක්ෂණයක් සිදුකළ 63 හැවිරිදි කාන්තාවක පෙරේදා (08 වැනිදා) මරණයට පත්ව ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි. මෙම පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තාව ලැබීමට පෙර මියගිය කාන්තාවගේ තවත් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකිරීමට ද රෝහල් බලධාරීන් තීරණය කර තිබේ.  පිළියන්දල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවකට කොරෝනා ආසාදනය වීමෙන් එම ආයතනය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ පවසයි. පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පොල භූමියේ දී ඉකුත් 07 වැනිදා සෞඛ්‍ය අංශ විසින් අහඹු ලෙස සිදුකරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයේ දී මෙම සේවිකාවට  රෝගය වැළඳී ඇතැයි තහවුරු වී ඇති බව ද සඳහන් වෙයි.  මහයියාව නගර සභා සේක නිවාස සංකීර්ණයේ 28 දෙනකු කොරෝනා අසාදිත බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. නගර සභා සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල අය ජීවත් වන එම නිවාස සංකීර්ණය මේ වන විට හුදෙකලා කර ඇති බව ද සඳහන් වෙයි.


කොරෝනා ආසාදිත තරුණියක පැමිණීම හේතුවෙන් තලවකැලේ නගරයේ වෙළෙඳ සල් දෙකක් වසා දැමීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම තරුණිය අවිස්සාවේල්ල නගරයේ සිට ලිඳල බඹරකැලේ වතුයායට පැමිණ ඇති අතර, තලවකැලේ නගරයේ රෙදිපිළි වෙළෙඳ සැලකට සහ සැලුනයකට ගොස් ඇති බවට තහවුරු වීම නිසා එම වෙළඳ සැල් වසා දැමූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 
ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ ආගරපතන ඇල්බියන් ක්‍රොන්ෆීල්ඩ් ප්‍රදේශයෙන් කොරෝනා රෝගියකු හමුවීම හේතුවෙන් එම ප්‍රදේශය හුදෙකලා කළ බව ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා පවසයි. කොරෝනා ආසාදිත තැනැත්තාගේ නිවසේ තිබූ පින්කමකට අවිස්සාවේල්ල ප‍්‍රදේශයෙන් පැමිණ සිටි ඥාතියකුගෙන් මෙම වයිරසය ආසාදනය වී ඇතැයි සැක කරන බව අබේගුණරත්න මහතා සඳහන්  කරයි.


මහර බන්ධනාගාරයේ තවත් රැඳවියන් 54 දෙනකුට කොරෝනා වයිරසය ආසාදිතව ඇතැයි මහර බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ මහතා පවසයි. රැඳවියන් 85 දෙනකු සඳහා ඉකුත් 07 වැනිදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේ දී මෙම රෝගීන් හඳුනාගත් බවත්, තවත් රැඳවියන් 100 දෙනකුගේ පී. සී.ආර්. පරික්ෂණ සිදුකළ බවත් වීරසිංහ මහතා සඳහන් කරයි. රත්නපුර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොරෝනා රෝගීන් 431 දෙනකු තහවුරු කරගෙන ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. පෙරේදා 08 වැනිදා රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්ත වූ රෝගීන් 13 දෙනාම ඇහැලියගොඩ පදිංචිකරුවන් බවත් මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 993ක 4054 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවත් සඳහන් වෙයි. වීරල එළිමහන් සිර කඳවුරේ සිදු කෙරුණ පී.සී.  ආර්. පරික්ෂණ 94 කින් 46 දෙනකු කොරෝනා ආසාදිතව ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා  වෛද්‍ය දීපිකා පටබැඳි මහත්මිය පැවසුවාය. මෙම රැඳවියන් අධිකරණ මගින් ඇප ලබා සිටිය දී ආසාදිතව ඇති බැවින් නිරෝධායනය සඳහා වීරවිල බන්ධනාගාරයට රැගෙන විත් ඇති අය බව ද ඇය සඳහන් කළාය.


හලාවත කොරයා වත්තෙන් සහ මුන්නේශ්වරම ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් හය දෙනකු හඳුනාගෙන ඇතැයි හලාවත නගර සභාව කියයි. මෙසේ රෝගීන් ලෙස හඳුනාගෙන ඇත්තේ හලාවත නගර සභා සෞඛ්‍ය කම්කරුවන් පිරිසක් බව ද සඳහන් වෙයි.   ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ වතු ආශ්‍රිත ප්‍රදේශ තුළින් කොරෝනා ආසාදිතයන් 8 දෙනකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. මෙය එක් දිනක් තුළ ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළින් වාර්ත‍ෙ වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය බවත් ඔවුන් මේ  වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බවත් සඳහන් වෙයි.තංගල්ල බාලිකා ජාතික පාසලේ දහවැනි ශ්‍රේණියේ සිසුවියක උණ රෝගය වැළඳීමෙන් රෝහල් ගත කර ඇති බැවින් එම ප්‍රදේශයේ පාසල්වලට දරුවන් පැමිණීමේ අඩුවක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.


දකුණු පළාතේ කොරෝනා රෝගීන් 346 දක්වා  වැඩිවී ඇතැයි දකුණු පළාත් කෝවිඩ් මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලය පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 224 දෙනකු, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 90 දෙනකු සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගීන් 32 දෙනකු වාර්තා වී ඇතැයි ද එම කාර්යාලය සඳහන් කරයි බුලත්සිංහල වේයන්ගලෙන් කොරෝනා ආසාදිතයන් 27 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඒ හේතුවෙන් එම ප්‍රදේශය හුදෙකලා කළ බව ද සෞඛ්‍ය අංශය සඳහන් කරයි..  හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 61න් කොරෝනා රෝගීන් 166 දෙනකු වාර්තා වී ඇතැයි හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.