ගාල්ල මාගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරේ නිලධාරියකු ඇතුළු නාවික හමුදා සාමාජිකයන් පස් දෙනකුට කොරෝනා වයිරසය ආසාදිතව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ. සිංගාරච්චි මහතා පැවැසීය. නිරෝධායනය අවසන් කර රාජකාරියට වාර්තා කර සිටි නාවික භටයකුට ඇතිවූ රෝගී තත්වයකින් පසු සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණවලින් මෙම රෝගීන් හඳුනාගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේය. කොළඹ සහ වත්තල මහ නගර සභාවලට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටි ආධුනික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකුටද කොරෝනා වයිරසය ආසාදිතව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ  ලේකම් උපුල් රෝහණ මහතා කීවේය.



මෙම ආසාදිත මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දෙදෙනාගේ ආශ්‍රිතයන් වූ සෞඛ්‍ය පරීක්ෂකවරුන් තවත් 16 දෙනකු ස්වයං නිරෝධායනයට ද යොමු කර ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 06 දෙනකුට මේ වනවිට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.  රුහුණු විශ්වවිද්‍යාලයේ හපුගල ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යාවන් දෙදෙනකුටද කොරෝනා ආසාදනය වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ සිංගාරච්චි මහතා පැවැසීය. මතුගම සහ සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවියන් දෙදෙනා නිවෙස්වල සිට නැවත විශ්වවීද්‍යාලයට පැමිණි පසු සිදුකරන ලද පී.සි. ආර්. පරීක්ෂණයකදී ඔවුන් දෙදෙනා ආසාදිතයන් බවට හඳුනාගත් බවද ඔහු ප්‍රකාශ කළේය. අම්පාර කොවින් රෝහලේ හෙද නිලධාරියකු කොරෝනා ආසාදිත බවට හඳුනාගැනීම හේතුවෙන් එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ 25 දෙනකු නිරෝධායනයට යොමු කර ඇතැයි අම්පාර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  වෛද්‍ය ප්‍රසංග සේසිංහ මහතා පැවැසීය.


ඒ අනුව, ආසාදිත හෙද නිලධාරියා එම රෝහලේම ප්‍රතිකාර ලබන අතර ඔහුගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමුකර ඇතැයි ද වෛද්‍ය ප්‍රසංග මහතා සඳහන් කළේය.  බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි  කොට්ඨාසයෙන් කොරෝනා රෝගීන් 06 දෙනකු හමුවී ඇතැයි බියගම පරිපාලන මහජන සෞඛ්‍ය  පරික්ෂක සමන්ත පෙරේරා මහතා කීවේය. බියගම සෞඛ්‍ය වෙද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයන් ගණන 30ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය. ගාල්ල දෙඳුගොඩ ප‍්‍රදේශයේ නිවසක නිරෝධායනය වෙමින් සිටි මවකට සහ ඇගේ දරුවන් සිවු දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර සිංහාරච්චි මහතා පැවැසිය.



මෙලෙස ආසාදිතව ඇති කාන්තාව 44 වියේ පසුවන අතර දරුවන් පිළිවෙළින් අවුරුදු 13, 10, 08 සහ 07 යන වයස්වල පසුවන බවත් ඔවුන්ගේ පියා කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින අයකු බවද පැවසෙයි.  රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉකුත් දින පහ තුළ  කොරෝනා ආසාදිතයන් 126 දෙනකු හඳුනාගෙන  ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී  ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය. රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 1,157ක පුද්ගලයන්| 4,808 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවද ඇය සඳහන් කළාය. මාතර කැකණදුර ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියකුට ඔහුගේ බිරිඳට සහ නැගණියට කොරෝනා වයිරසය ආසාදිතව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.  මෙම විධායක නිලධාරියා කොළඹ ප්‍රදේශයේ සේවය කරන අයකු වන අතර ඔහු කොළඹ සිට මාතර ප්‍රදේශයට පැමිණෙන අවස්ථාවේ දී මාතර දී රථවාහන වරදකට හසුව දඩ කොළයක් ලබා දුන් පොලිස් නිලධාරින් දෙදෙනකු ද ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි ද සෞඛ්‍ය අංශ සදහන් කරයි.


මාතර නාවීමන සෝමාරාම මවිත සහ කැකණදුර තල්පාවිල යන ප්‍රදේශවල පදිංචි  කොළඹ පොලිස් මූලස්ථානයේ සේවය කරන නිලධාරීන් දෙදෙනකුට මිරිස්ස පොල්අතු මෝදර පදිංචි විදුලිබල මණ්ඩලයේ ගාල්ල කාර්යාලයේ රියැදුරකුට සහ වැලිගම මුණමල්පේ පදිංචි පොලිස් සැරයන්වරයකුට ද කොරෝනා වයිරසය ආසාදිතව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.  බඩල්ගම ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කළ තවත් සේවිකාවන් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදිතව ඇතැයි පන්නල සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.  එම කර්මාන්ත ශාලාවෙන් සොයාගත් ආසාදිතයන් ගණන නව දෙනකු බව ද සඳහන්  වෙයි. හබරාදූව පොලිස් වසමේ කොග්ගල පදිංචි එකම පවුලේ පස් දෙනකු කොරෝනා ආසාදිත වි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග ඒකකය පවසයි.


මෙම අයවලුන් කොළඹ අයි.ඩී.එච්. රෝහලේ සේවය කරන හෙදියකගේ පවුලේ සාමාජිකයන් බව ද එම ඒකකය සඳහන් කරයි.  බේරුවල ප්‍රදේශයේ සිට නිවිතිගල රත්නපුර ප්‍රදේශවලට දිනපතා පැමිණෙන මැණික් ව්‍යාපාරිකයකුට කොරෝනා ආසාදිතව ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. දිවුලපිටිය බඩල්ගම ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ආයතනයක සේවකයින් 19 දෙනකුට ද කොරෝනා වයිරසය ආසාදිතව ඇති අතර එම ආයතනයෙන් හදුනාගත් රෝගීන්ගේ මුළු ගණන 48 දෙනකු බව කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.ඒ.යු.ටී. කුලතිලක මහතා පැවැසීය.  මාදම්පේ මහගම ප්‍රදේශයේ පදිංචි ඇඟලුම් සේකයකුට සහ මාදම්පේ වෛද්‍යවරුන් මධ්‍යස්ථානයක සේවය කරන තරුණියකට කොරෝනා වයිරසය ආසාදිතව ඇතැයි මාදම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කුලරශ්න අතපත්තු මහතා ප්‍රකාශ කළේය.