නව කෝවිඩ්-19 ප්‍රභේදයක් පිළිබඳ ලෝකය තුළ කතා බහක් ඇති වී තිබුණද, නව ප්‍රභේදය හඳුනා ගැනීමට අවශ්‍ය ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි. 


නව ප්‍රභේද ඇතිවීම කෝවිඩ් පවුලේ වෛරසවල සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකිය හැකි වුවද, වසංගතය පාලනය කිරීමේදී එය බරපතළ අවධානයට ලක්විය යුතු කරුණක් බවත්, මේ වනවිට එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක නව කෝවිඩ් ප්‍රභේද හේතුවෙන් බරපතළ තත්වයක් ඇති වී තිබෙන බවත් එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.

අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර (gene sequencing data analysis) මිල දී ගැනීම සඳහා අවස්ථා තුනකදී උත්සහ කර තිබෙන බවත්, එය කිසියම් පාර්ශ්වයක බලපෑම මත අත්හිටුවා තිබෙන බවට වාර්තාවන බවත් ඒ මහතා පවසා සිටියේය.

පසුගිය අප්‍රේල් මාසයේදී ලෝක බැංකු ආධාර යටතේ ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර කිහිපයක් මිලදී ගැනීම සඳහා, යුනිසෙෆ් ආයතනය විසින් ප්‍රසම්පාදන කටයුතු පවා අවසන් කර තිබියදී, එක්තරා නිලධාරියෙකු විසින්, එම උපකරණ මිල දී ගැනීම අත්හිටවූ බවට තොරතුරු වාර්තා වන බවත්, මෙම වැඩපිළිවෙළ යටතේ ඩොලර් මිලියන එකසිය අසූවකට අධික ආධාර ලබාදීමට තීරණය කර තිබූ බවත් ඒ මහතා සඳහන් කළේය. එබැවින් මේ පිළිබඳව පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පවසා සිටියේය.

අදාළ අරමුදලේ මුදල් ලබාගෙන උපකරණ මිලදී ගැනීමට තවමත් අවස්ථාව තිබෙන බවත්, මේ නිසා අදාළ මුදල් ලබාගෙන කෝවිඩ් - 19 පාලනය කිරීමට අදාළ කටයුතු සිදුකරන ලෙසට බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.

- එච්. අයි. තුෂාර -