කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ඇමරිකාවේ දැනට සාර්ථක ප්‍රතිඵල පෙන්වනවා කියන ෆයිසර් එන්නත දෙසැම්බරයේ මැද හෝ ජනවාරි මාසයේ මුල පොදු ජනයා සඳහා විශාල වශයෙන් ලබාදීමට සැලසුම් කර ඇති බවත් එහි පළමු එන්නත් ප්‍රසිද්ධියේ විශාල මාධ්‍ය අවධානයක් සහිතව ලබාදීමට ද සැලසුමක් පවතින බවත් කොරෝනා මැඩලීම සම්බන්ධයෙන් කටයුතු කරන ඇමරිකානු වෛද්‍ය ෆවුසි අද දින ප්‍රකාශ කළ බව  usatoday වාර්තා කරයි.

ජනතාවගේ බිය සැක නැති කිරීමට හා ඇමරිකානු එන්නත ලොවට හඳුන්වාදීමට මෙම ප්‍රසිද්ධියේ එන්නත් විදීම අවස්ථාවක් කරගන්නා බව පවසන වෛද්‍යවරයා පළමුවෙන්ම එන්නත් විදගන්නා අය ලෙස ඇමරිකාවේ හිටපු ජනපතිවරුන් වන බරක් ඔබාමා, ජොර්ජ් ඩබ්ලිව් බුෂ් හා බිල් ක්ලින්ටන් අදාළ අවස්ථාවට එක්වනු ඇති බවත් ඔවුන් තම ශරීරයට එන්නත් විදීම වීඩියෝ ඔස්සේ දැකගන්නට ඉඩ සලසන බවත් පවසා තිබේ.

කොරෝනා එන්නතක් සාර්ථකවීම එය ලොවේ සෑම රටකම බිලියන ගණනක් ජනතාවට අලෙවි කිරීමට හැකි අවස්ථාවක් වන අතර විශාල වශයෙන් ආර්ථිකයට බලපාන්නක් බැවින් ඇමරිකාව මෙම ප්‍රවර්ධන කටයුත්තට යොමුව ඇති අතර මේ වනවිට බ්‍රිතාන්‍යයද තරගකාරී ලෙස ඔවුනගේ ඔක්ස්ෆර්ඩ් එන්නත ප්‍රසිද්ධ කරමින් සිටී. තෙවැනි තැන තිබෙන චීන එන්නතද සාර්ථක වී ඇති බව චීන මාධ්‍ය ප්‍රකාශ කර තිබේ.