කොරෝනා වයිරස මර්දනය කිරීම සඳහා දේශීය ඖෂධ 37 ක් පිළිබඳව  සොයා බැලීමට දේශීය ආයුර්වේද අමාත්‍යාංශය විද්වත් කමිටුවක් පත් කර ඇති බව දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල්  සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසිය. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසුවේ දේශීය ඖෂධ වර්ග 108 ක් අඩංගු ඖෂධ මංජුසාවක් උදුවප් පොහෝදින ශ්‍රී පාදස්ථානයට පූජා කිරිමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.  එහිදී අදහස් දැක් වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේද කීවේය.



දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හැටියට රට අද මුහුණ දී ඇති වසංගත තත්වයෙන් ඉක්මනින් මිදිලා නිරෝගි බව ලැබේවා කියන ප්‍රාර්ථනාව එක්ක ඖෂධ වර්ග 108 කින් යුත් මංජුසාවක් දින 14 ක් පුරා දිවයින පුරා වෙහෙර විහාරස්ථාන, සිද්ධස්ථානවල පූජා  උපහාරයට ලක් කළා. ආයුර්වේදයේ  භාවිත නව හෙළ වෙදකමේ තියෙන ඖෂධ වර්ග 108 ක් තමයි භාවිතා කරන්නේ.  කොරෝනා පැණිය පිළිබඳව අපි සායනික පරීක්ෂණ ආරම්භ කර තියෙනවා.


දේශීය ඖෂධ වර්ග 37 පිළිබඳව අපි පරීක්ෂණ කරගෙන යනවා කොරෝනා වයිරසයට මුහුණ දෙන්න සුදුසුයිද කියලා. කොරෝනා සඳහා විවිධ පාන වර්ග, ඖෂධ වර්ග, බෙහෙත් වර්ග ඒ සෑම දෙයක් සම්බන්ධයෙන් අධ්‍යනයක් කරනවා. ඒ සඳහා විද්වත් කමිටුවක් පත් කර තියෙනවා දේශීය ආයුර්වේද අමාත්‍යාංශයෙන්.


-රංජිත් රාජපක්ෂ-