එළැඹෙන උත්සව සමයේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ තීරණයක් මෙතෙක් ගෙන නැතැයි යුද හමුදාපති වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.  රට ඉදිරියට ගමන් කරමින් කොරෝනා වයිරසය පරාජය කිරිමේ රජයේ ප්‍රතිපත්තියට අනුව
එළඹෙන උත්සව සමයේ දී හුදෙකලා කිරීමකට හෝ සංචරණ නීති පැනවීමට කිසිදු බලාපොරොත්තුවක්  නොමැති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.  කෙසේ වෙතත් ඕනෑම අවස්ථාවක නිරෝධායන නීතිය හෝ සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවක් පැන නැගුණහොත් එය ක්‍රියාවට නංවන බවද යුද හමුදාපතිවරයා පැවසීය.  යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ  මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. යුද හමුදාපතිවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.


"මේ වන විට හුදෙකලා කර ඇති ප්‍රදේශ හැරුණුකොට වෙනත් ප්‍රදේශ හුදෙකලා කිරිමේ බලාපොරොත්තුවක් මෙතෙක් නැහැ. කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ලෝකයේ හැසිරීම ගැන මේ රටේ ඉන්න බුද්ධිමත් ජනතාව දැන් දැනගෙන සිටින්නේ. බ්‍රිතාන්‍යයේ ඇතිවී තිබෙන කොරෝනා වයිරසයේ අලුත් ප්‍රභේදයේ පැතිරිම සියයට හැත්තෑවකටත් වඩා වැඩි බවට විදෙස් බලධාරීන් සොයාගෙන තිබෙනවා. එවන් වූ අවස්ථාවක ජනතාව සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කළ හොත් සංචරණ සීමා පැනවීමේ කිසිදු අවශ්‍යතාවයක් ඇති වන්නේ නැතැයි" ඔහු කීවේය.

-නිමත්ති රණසිංහ-