මේ දිනවල කොරෝනා මර්දනය පිණිස දේශීය වෛද්‍ය ප්‍රතිකර්මයක් ලෙස ආයුර්වේද පැණියක් නිර්මාණය කළ කෑගල්ලේ පුද්ගලයෙකු ගැන විශාල කතාබහක් ඇතිව තිබේ.
කොරෝනා සුවකිරීමට හැකි ඖෂධයක් ඔහු නිපදවා ඇති නම් එය සුවිශේෂී අගය කළ යුතු කාරණාවකි. නමුත්
දේශපාලකයින් මුල්වී බෙහෙත් තොලගාමින් ඇමතිවරුන් සමග මාධ්‍ය හමුවලට පැමිණෙමින් මාධ්‍ය අවධානයට යොමුවීම නිසාම ඇතැමුන් මොහු ගැන සැකයෙන් කථාකරනු වාර්තාවේ.

දිවයින පුවත්පතේ වාර්තාවක දැක්වෙන්නේ ඔහු කෑගල්ල, හෙට්ටිමුල්ල, උඩුමාගම මහාවීර බද්ධ කාලී දේවාලයේ ධර්මාචාර්ය පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ඩී.එම්. ධම්මික බණ්ඩාර බවයි.
'මෙම බෙහෙත අවසන් වශයෙන් දුන්නේ වතුපිටිවල නිරෝධායන මධ්‍යස්ථානයට. එතන රෝගීන් 146 දෙනකු සිටියා. ඒ සියලූ දෙනාටම බෙහෙත් දුන්නා. දින 4ක් යන විට සුවවී තිබුණා. ' ඔහු උපුටමින් පුවත්පත වාර්තා කර තිබේ.
මෙම පුද්ගලයා ගැන ඇතැමුන් සැක පහළ කර තිබෙන අතරවාරයේ දෙරණ නාලිකාවේ චතුර ඔහුගේ වැඩසටහනකට ධම්මික මහතා කැඳවන්නේ ආයුර්වේද රාජ්‍ය ඇමති සිසිර ජයකොඩිද සමගිනි.

එහිදී 'ඔබ කිසියම් පාරම්පරික වෙද මහතෙක්ද' යන්න විමසූ විට පිළිතුර වන්නේ 'නැහැ මං මේක ඉතාම කෙටිකාලයකදී නිර්මාණය කරලා සාර්ථක ප්‍රතිඵල පෙන්නුවා' ලෙස පමණි.

මේ අතර ධම්මික බණ්ඩාර නමැත්තෙකු ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි වී නොමැති බවත්
ඔහුගේ කොවිඩ් වයිරසය සඳහා නිෂ්පාදනය කළ දේශීය බෙහෙත් වට්ටෝරුව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ යෝග සංග්‍රාහ කමිටුවේ ලියාපදිංචි කළ එකක් නොවන බවත් ජ්‍යෙෂ්ඨ පශ්චාත් උපාධි ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ප්‍රකාශයක් නිකුත් කරමින් දන්වා ඇත. සංගමයේ සභාපති වෛද්‍ය චමල් ආර්. කුලතිලක පෙන්වාදෙන්නේ එවැනි ඖෂධයක් අනුමත කළ නොහැකි බවයි.මෙම නිෂ්පාදනය දේශපාලන අධිකාරියේ වුවමනාව මත සිදුකළ හඳුන්වාදීමක් බවද ඔහු පවසා තිබේ.

හිටපු කැෆේ සභාපති හා හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ මෙම පුද්ගලයා තමා දන්නා බවත් දේවාලයක් පවත්වා යන්නෙකු බවත්ය. ඡන්දපොල නියෝජිතයෙකු ලෙසද රාජකාරී ඇති ඔහුට වෙදකම් කිරීමේ හැකියාවක් ඇතැයි තමා දැන නොසිටි බවත් ' ධනපාල බාසුන්නැහෙ' ලෙසින් ප්‍රකට ඔහු තමා දන්නා තරමින් වඩු වැඩ හා මේසන් වැඩ දන්නා අයෙකු බවයි.