කොරෝනා වෛරසය සුව කිරීමට පැණියට හැකියාවක් තිබෙනවා නම් එසේ පවසන අය පැමිණ කොරෝනා ආසාදිත පිරිස් සමග වැඩකර පෙන්වන්න යැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි.


කොරෝනා වසංගතය හමුවේ සෞඛ්‍ය සේවාව තුළ මතුව ඇති ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (10) පෙරවරුවේ කොළඹ ලිප්ටන් වටරවුම ඉදිරිපිට පැවැත්වූ නිහඬ විරෝධතාවයෙන් අනතුරුව ඔහු මේ බව පැවසීය.

කොරෝනා තුරන් කිරීමට විද්‍යාත්මක වැඩපිළිවෙලක් සකස් කිරීමටත්, සෞඛ්‍ය අරමුදලක් ස්ථාපිත කිරීමටත්, වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය තහවුරු කරන ලෙසත්, රාජ්‍ය සේවා කොමිසමට පත් කළ නුසුදුස්සන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ලබා දෙන ලෙසට ආණ්ඩුවට බල කරමින් මෙම නිහඬ විරෝධතාවය පැවති අතර සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන වෛද්‍යවරුන් රැසක් ඊට එක්ව සිටියහ.