කොවිඩ් පාලනයට යොදාගන්නා ඖෂධ හෝ එන්නත් හෝ නිසි සායනික පරික්ෂාවකින් තහවුරු වූ ඒවා විය යුතු යැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය  පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය. 
ඇමැතිවරිය එම අදහස් පළ කළේ ලංකාවේ ප්‍රමුඛ පෙළේ වයිරස් සහ ක්ෂුද්‍ර ජීවී පිළිබඳ විශේෂඥයන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (15) හමු වූ අවස්ථාවේදීය.  කොවිඩ් 19 වයිරසය නැසීම සඳහා නිසි සායනික පරික්ෂාවකින් තහවුරු නොවූ ඖෂධ හෝ එන්නත් හෝ ලබාදුන්ණහොත් එයින් අත්විය හැකි ප්‍රතිඵල අහිතකර විය හැකි බව ද එහිදී රාජ්‍ය ඇමැතිවරිය කීවාය.  එවැනි ඖෂධ හෝ එන්නත් හෝ මගින් සංකුලතා, අතුරු ආබාධ නොමැති බවට නිවැරැදි තක්සේරුවක් සහිත ඖෂධ හා එන්නත් පමණක් භාවිතය වැදගත් බව ද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය.


එහිදි ඇමැතිවරිය සහ විශේෂඥයන් පිරිස ඔක්ස්ෆර්ඩ්, ෆයිසර්, ස්පුට්නික් සහ සිනොවැක් යන එන්නත් වර්ග 4 සම්බන්ධයෙන් මූලික අවධානය යොමු කළ අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කිරීමටත් එහිදී තීරණය කෙරිණ. එම සාකච්ඡාවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග  සහ කොවිඩ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ  ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, වසංගත රෝග විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර, මහාචාර්ය ජෙනිෆර් පෙරේරා, මහාචාර්ය නීලිකා මලවිගේ. වසංගත රෝග විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමිත ගිනිගේ යන මහත්ම මහත්මීන් සමග විශේෂඥ වෛද්‍යවරු පිරිසක් ද එක්ව සිටියහ.


-රංජන් කස්තුරි-