ලොව උසම කන්ද ලෙස සැලකෙන එවරස්ට් කන්දේ උස මීටර් 8848.86ක් බව නිල වශයෙන් නිකුත් කෙරිණි. මෙම උස සම්බන්ධයෙන් මෙතෙක් කලක් චීනයත් - නේපාලයත් අතර පැවැති විවාදය අවසානයේදී පැමිණි එකඟතාවක් අනුව එවරස්ට් කන්දේ මෙම උස පිළිබඳව නිල වශයෙන් නිවේදනය කෙරීඇත. 




ආසන්න වසරක කාලය පුරා මෙම උස සම්බන්ධයෙන් දෙරට අතර මතභේදකාරී තත්වයක් ඇතිව තිබුණි. මෙලෙස එවරස්ට් කන්දේ උස ගණන් බැලීමේ කටයුතු පසුගිය වසරේදී චීන ජනපතිවරයා නේපාලයේ සිදුකළ නිල සංචාරයෙන් අනතුරුව ආරම්භ විය.

එවරස්ට් කන්දේ උස පිළිබඳව අවසන් ගණනය කිරීම සිදුකර ඇත්තේ අදින් වසර 165කට පමණ පෙරාතුව ඉන්දියානු ගණිතඥයන් කිහිප දෙන්නෙකු විසිනි. එහිදී වසර ගණනක් පුරා සිදුකළ සමීක්ෂණ  සහ ගණනය කිරීම් අනුව එම උස තීරණය කර තිබුණි.

ඒ අනුව මෙම නව ගණන් බැලීම් අනුව එවරස්ට් කන්දේ උස තවත් මීටර් 0.86කින් ඉහළ නැග තිබේ. මේ දක්වාම එය මීටර් 8,848ක් ලෙස සඳහන්ව තිබුණි. මේ පිළිබඳව වන නිල නිවේදනය නේපාලයේ විදේශ අමාත්‍ය ප්‍රතීද් ග්යාවාලි සහ චීනයේ විදේශ අමාත්‍ය වැන්ගේ යී දෙපළ එක්ව සිදුකර තිබේ. එසේම දෙරටේම නායකයන් සිදුකළ ප්‍රකාශයන්ද මෙහිදී ප්‍රසිද්ධියට පත්කර ඇත.