ගම්පහ හංසගිරි පාරේ දී යුද හමුදා සෙබළෙකුට නියනකින් ඇන ඝාතනය කිරීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළක් ලබන 14 වැනි දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ අතිරේක  මහේස්ත්‍රාත් ආර්.එස්.එම්. මහේන්ද්‍ර රාජා මහතා නියම කළේය. මල්වතුහිරිපිටිය, උතුරු බුත්පිටියේ පදිංචි කේ. වාසනා මධුභාෂිණි අභන්වල නමැති 32 හැවිරිදි දෙදරු මව් සහ එම සැකකාරියගේ සැමියා වන නිශ්ශංක රෝහණවීර යන සැකකාර යුවළ මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.


ගම්පහ හංසගිරි පාරේ වැටී සිටිය දී සුවසැරිය ගිලන් රථයකින් ඉකුත් 04 වැනිදා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එදිනම (04) පුබුදු නුවන් කරුණාරත්න නමැති 27 හැවිරිදි හමුදා සාමාජිකයා මියගොස් තිබුණි. මෙම මියගිය සෙබළා ඌරගස්මංකඩ, දියකඩිත්තවත්ත ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වන අතර යක්කල යුද හමුදා කඳවුරක සේවය කරමින් සිටි බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

සැකකාරිය රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන බවත් මරණකරුගේ සොහොයුරියත් බුත්පිටිය අරමංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් පැවසූ පොලිසිය මරණකරු සැකකාරීය සමග අනියම් සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට උත්සාහ කරමින් තමන්ට නිතර නිතර කරදර කළැයි සැකකාරිය ප්‍රකාශ කළ බව අධිකරණය හමුවේ පොලිසිය පැවසීය.

සැකකාරිය සහ ඇගේ සැමියා යතුරුපැදියකින් හංසගිරි පාරේ ගමන් කරමින් සිටිය දී මරණකරු ද යතුරු පැදියකින් පැමිණ මග හරස් කර ඇති කර ගත් ආරවුලක දී සැකකාරිය සහ සැකකරු මරණකරුට උල් නියනකින් ඇන පලාගොස් තිබෙන බවත් සැකකාරිය පොලිසියට පැමිණ බාර වූ බවත් සැකකාරියගේ ප්‍රකාශ මත සැකකාර සැමියා අත්අඩංගුවට ගත් බවත් යක්කල පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.
- ටෝනි කරුණානායක  -