ගම්පොළ ශික්ෂණ රෝහලේ කොරෝනා ආසාදිත වෛද්‍යවරයකු පැවැත්වූ සාදයකට සහභාගි වූ විශේෂඥ
වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුළු වෛද්‍යවරුන් 50ක් හා හෙද කාර්ය මණ්ඩලයේ 19ක් සමඟ කනිෂ්ඨ කාර්ය
මණ්ඩලයේ 13ක්ද රෝහල් පොලිස් ස්ථානයේ 4 දෙනකුද නිරෝධායනයට ලක්කර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.


මේ වනවිට රෝහලේ බාහිර රෝගී අංශය, හදිසි ප්‍රතිකාර ඒකකය ඇතුළු වාට්ටු කිහිපයක්ද වසා දැමීමට
පියවර ගෙන ඇති අතර රෝහල් අධ්‍යක්ෂ චමිල් විජේකෝන් මහතා පවසන්නේ ආරක්ෂක පියවරක් ලෙස රෝහලේ
සිටි ගැබිනි මවුවරු පේරාදෙණිය ශික්ෂණ රෝහලට හා මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යැවූ බවයි.

එසේම බාහිර රෝගී අංශය වසා දැමුවද උණ රෝගීන් පැමිණියහොත් ඔවුන් භාර ගන්නා බවද
අධ්‍යක්ෂවරයා පැවැසීය.

අකුරණ ප්‍රදේශයේ පදිංචි මෙම වෛදවරයා ගම්පොළ ශික්ෂණ රෝහලේ වසර දෙකක් සේවය කොට ඇති අතර
පශ්චාත් සීමාවාසික පුහුණුවෙන් පසු වෙනත් රෝහලකට ස්ථාන මාරුවක් ලැබ යෑමට නියමිතව සිටි නිසා ඔහු
විසින් පසුගිය 04 දින රෝහල තුළදී හෙද කාර්ය මණ්ඩලය හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සඳහා සංග්‍රහයක්ද
එදිනම රාත්‍රියේ ගම්පොළ නගරයේ ඇති ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක ශාලාවක් තුළ වෛද්‍යවරුන් සඳහා
සාදයක්ද පවත්වා තිබේ. මෙම වෛද්‍යවරයාගේ බිරියද වෛද්‍යවරියක් වන අතර ඇයට කොවිඩ් _ 19
රෝගය ආසාදනය වීම නිසා මෙම වෛද්‍යවරයාට පී.සී.ආර්. පරීක්ෂණයක් කර ඇත. එහි ප්‍රතිඵල අනුව 6
වැනි දින වෛද්‍යවරයාටද ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මේ අතර රෝහලේ සිටි ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් දෙදෙනාම නිරෝධායනයට ලක්කර ඇති නිසා ඒ
වෙනුවට වෛද්‍යවරුන් ලබාදෙන ලෙසද අධ්‍යක්ෂවරයා ඉල්ලීම් කර ඇත. රෝහල් පොලිස් ඒකකයේ පොලිස්
නිලධාරීන් 4 දෙනා වෙනුවට වෙනත් පොලිස් නිලධාරීන් තිදෙනකුද ගම්පොළ පොලිසිය මඟින් සේවයට යොදවා
ඇත. සාදය පැවැත්වූ ගම්පොළ පෞද්ගලික රෝහලද වසා දැමීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

මේ අතර රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ අවදානම් අඩු ආශ්‍රිතයන් හට අද (09දා) දින
පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඔවුන් නැවත රෝහල් සේවයට යොදාගන්නා බවත් වෛද්‍යවරයාගේ ළඟ
ආශ්‍රිතයන් ඉන්පසුව පී.සී.ආර්. පරීක්ෂණය සඳහා යොදවන බවත්ය.

මේ සිද්ධිය පිළිබඳව ගම්පොළ උඩපළාත සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය, නගර සභා සෞඛ්‍ය අංශය, රෝහල්
සෞඛ්‍ය අංශය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා ඇත.


ගම්පොළ - මාධව බණ්ඩාර