ගම්පොළ ශික්ෂණ රෝහලේ තවත් වෛද්‍යවරියකට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති අතර ඇය පල්ලේකැලේ රැඳවුම් මධ්‍යස්ථානයට යැවූ බව සෞඛ්‍ය අංශ පවසයි.
ඇය පසුගිය 6 වැනිදා හඳුනාගත් ආසාදිත වෛද්‍යවරයාගේ ආශ්‍රිතයකු නොවන බව හෙළි වී ඇතැයි රෝහල් අධ්යක්ෂ චමිල් විජේකෝන් මහතා පැවැසීය.
ගම්පොළ ඇරෑගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම වෛද්‍යවරියට දින කිහිපයක සිට තිබූ සෙම්ප්‍රතිශ්‍යාව හේතුවෙන් ඇය පී.සී. ආර්. පරික්ෂණයකට ලක්කර ඇති අතර ඇයට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව එහිදී තහවුරු වී ඇත.
මෙම වෛද්‍යවරියගේ පියා ගම්පොළ නගරයේ ප්‍රසිද්ධ කුකුළු මස් වෙළෙඳසල් ජාලයක ගණකාධිකාරිවරයකු ලෙස සේවය කරන බවත් ඔහුට ද මෙම රෝග ලක්ෂණ පවතින හෙයින් එම වෙළෙඳසල් ජාලයේ ළඟම ආශ්රිත සේවක පිරිසකට පෙරේදා (12) පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවැසූහ.
මෙම වෛද්‍යවරිය ගම්පොළ රෝහලේ ළමා වාට්ටුව, නොමේරූ ළදරු ඒකකය හා 6 වාට්ටුව යන තැන් කිහිපයකම සේවය කර ඇති බව පැවසේ.
ස්ථාන මාරුවක් ලද වෛද්‍යවරයකු විසින් පසු ගිය 4 වැනිදා රෝහලේ වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය සඳහා සාදයක් පවත්වන ලද අතර පසුව එම වෛද්‍යවරයා කොරෝනා වයිරසය ආසාදිතයකු බව හඳුනාගෙන ඇත. ඉන් පසුව රෝහලේ වෛද්‍යවරුන් 50 දෙනකු හෙද කාර්ය මණ්ඩලයේ 19 දෙනකු ඇතුළු අසූ දෙදෙනකු නිරෝධායනයට ලක්කර ඇත. රෝහල් අධ්යක්ෂ චමිල් විජේකෝන් මහතා ප්‍රකාශ කළේ ජනතාවට රෝගී සත්කාර සේවය අඛණ්ඩව ලබා දීමේ අරමුණින් රෝහලේ ආරක්ෂව සඳහා පියවර රැසක් ගෙන ඇති බවයි.
එහෙයින් ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බව ද අධ්යක්ෂවරයා සඳහන් කළේය.
- සුරංග රාජනායක -
0 Comments