හබරාදූව ප්‍රදේශයේ විදුහලක 10 වැනි ශ්‍රේණියේ සිසුවියන් සිවු දෙනෙකු නිවෙසින් ගෙනෙන ලද ජලය පානය කිරීමෙන් පසුව අසනීපවීමේ සිද්ධියට එක් සිසුවියක සැක කරන බව හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත උදයකුමාර මහතා පැවැසීය.   මෙම විදුහලේ සිසුවියන් සිවු දෙනෙකු දිවා ආහාරය ගැනීමෙන් පසුව බඩේ  දැවිල්ලක් හට ගැනීම නිසා ඔවුන් සිවු දෙනා කරාපිටියට ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව හබරාදුව පොලිසිය කියයි..  ඉන් අනතුරුව හබරාදුව පොලිසිය විසින් විමර්ශන කටයුතු කිරීමේදී එක් සිසුවියකගේ පොත් බෑගයේ තිබී තිනර් බෝතලයක් සොයා ගත් බව පොලිසිය කියයි. මෙම සිද්ධියෙන් පසුව ගුරුවරුන් ඇගේ පොත් බෑගය පරීක්ෂා කරන විට “බෑගය අවුස්සන එපා" කියා ඇය ගුරුවරුන්ට පවසා ඇතැයි කියති.



මේ අතර මෙම සිසුවිය මීට පෙර බීර ටින් එකක් පාසලට ගෙනැවිත් පානය කර ඇති බව පොලිසිය කළ පරීක්ෂණවලින් හෙළිවී ඇත. එම සිසුවිය පාසලේ ශිෂ්‍ය නායිකාවක් බව ද පැවසේ. ඇය කිසියම් රෝගී තත්වයකින් පෙළෙන්දයි පොලිසිය සැක කරයි. තිනර් මිශ්‍ර ජලය පානය කළ සිසුවියන්  හතර දෙනාගෙන් කෙනෙකු වන එම සිසුවිය මෙම ජලය පානය කළ ප්‍රකෘති සිහියෙන් දැයි පොලිසිය සැක කරයි. තිනර් මිශ්‍ර ජලය පානය කර ඇති සිසුවියන් සිවු දෙනාගෙන් දෙදෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇතැයි ද එම සිසුවිය සමග තවත් සිසුවියක් රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන බවත් පොලිසිය සඳහන් කරයි.  හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත උදයකුමාර මහතාගේ උපදෙස් පරිදි මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වේ.


 -ඩී.ජී. සුගතපාල -