පසුගිය දාහත් වැනිදා කොළඹ ද සොයිසා රෝහලට විශේෂ දිනයක් විය. ඒ කොරෝනා ආසාදිත විසිපස් හැවිරිදි මවක් ‘‘සිව් නිවුන්’’ දරුවන් සිසේරියන් සැත්කමකින් බිහි කිරීමයි. ලංකාවේ සිව් නිවුන් දරුවන් මින් පෙර ඉපදී ඇතත්, කොරෝනා වැලඳුන මවක් සිව් නිවුන් දරුවන් බිහි කළ පළමු වතාව මෙය විය. එය ලංකාවේ පළමු අවස්ථාව වන්නා සේම ලෝකයේද පළමු අවස්ථාව වන බවත් කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන සනාථ කළේය. හංසිකා ශ්‍යාමලි පදිංචිව සිටියේ දෙමටගොඩ කුප්පියාවත්තේය. 2018 වසරේ පොලිස් සේවයේ නියුතු කළුතර ගිහාන් චන්ද්‍රතිලක හා විවාහ වීමෙන් පසුත් ඈ මව්පියන් සහෝදර සහෝදරියන් සමග දෙමටගොඩ මහ ගෙදරම සැමියා හා ජීවත් වූවාය.

විවාහයත් සමග ඊළඟට ඔවුන් මග බලා සිටියේ දරුවෙක් ගැන සුබ පණිවුඩයක් ලැබෙන තුරුය. සතුටු ආරංචිය ඈ සැමියාගේ කන තැබුවේ ඔවුන්ගේ දෙවන විවාහ සංවත්සරය ලබන මොහොතේය. දරුවා කුසට ආ සැණින් ඈ කරමින් සිටි පෞද්ගලික ආයතනයේ රැකියාවෙන් ඉවත්ව ගෙදර නැවතුණාය.


දින සති මාස ගෙවී ගියේය. ඔවුන් වෛද්‍යවරුන් හමුවෙමින් වෛද්‍ය උපදෙස්ද ලැබූහ. හංසිකාගේ දරු ගැබ ස්කෑන් පරීක්ෂාවට ලක් වූයේ ඒ අවස්ථාවේය. ස්කෑන් පරීක්ෂාවේ ප්‍රතිඵලය ඔවුන්ට අදහාගත නොහැකි විය. ඇයගේ කුසයේ එක් දරුවකු වෙනුවට දරුවන් සිව් දෙනකුම වූහ.
‘‘අවුරුදු දෙකක් දරුවා නැතුව හිටි අපිට බෝනස් එකක් ඇවිත්’’
හිත යට උපන් බිය අස්වසා ගනිමින් ගිහාන් බිරිඳගේ හිත හැදුවේය. එක් දරුවෙක් දෝතට ගන්නට සිටි ඔවුන් ඉන්පසු දරුවන් හතර දෙනා වෙනුවෙන් හැම දෙයක්ම සැලසුම් කරමින් සිටියහ.
අප්‍රේල් මාසය වන විට ලංකාව කොවිඩ් අවදානමක සිටියේය. ඒ කාලයේ හංසිකා ගෙදරටම වී පරෙස්සම් වූවාය. එහි දෙවැනි රැල්ල ඔක්තෝබර් මාසයෙන් ආරම්භ විය. එය වඩාත්ම දරුණුවටම බලපෑවේ කොළඹ ජනතාවටයි. ඒ නිසාම අවදානම් නගරයක සිටි හංසිකාට කොහෙත්ම නිවසින් එළියට යෑමත් හිතවතුන් නිවසට ගෙන්වීමත් ගිහාන් තහනම් කළේය.

පරෙස්සම හිත බය නොකළත් නොවැම්බර් 30 වැනිදා හංසිකා පමණක් නොව ගිහාන්ද බය වුණේය. ඒ ඇයට හුස්ම ගැනීමේ අපහසුතාවක් දැනෙන්නට වීම නිසාය. ගිහාන් ඇයව ළඟම පිහිටි ‘ද සොයිසා රෝහලට’ ඇතුළත් කළේ පමා නොකරමය. රොහල් ගත වූ ඇයව බාහිර රෝගී අංශයට ඇතුළත් කර කොළඹ අවදානම් ප්‍රදේශයකින් පැමිණි නිසා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කෙරිණි. එහි ප්‍රතිඵලය ලැබෙන තෙක් සාමාන්‍ය වාට්ටුවක සිටි හංසිකාට පසුදින පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල දැනගැනීමට ලැබුණි. එතරම් පරෙස්සම් වීත් ඈ කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ මවක් වී සිටියාය. ඒ ආරංචියත් සමග හංසිකා මානසිකව වැටුණාය. කොරෝනා රෝගයේ බිහිසුණු බව ගැන අවබෝධයකින් සිටි ඇය නිරන්තරවම දරුවන් රැක දෙන ලෙස ඉල්ලා දෙවියන් යැද්දාය. කොවිඩ් සැක සහිත රෝගීන් භාරව සිටින හෙද සොයුරියන්ද ඇයට අස්වසා ඇගේ හිතට ශක්තියක් දෙන්නට උත්සාහ කළහ.

‘‘හංසිකාට කරපු පී.සී.ආර්. පරීක්ෂණයෙන් කොවිඩ් පොසිටිව් කියලා වාර්තාව ආවෙ නොවැම්බර් 30. ඒත් එක්කම අපි එයාව අටේ වාට්ටුවේ එයාටම කියලා වෙන් කරපු වෙනම කොටසක. එයා කොවිඩ් රෝගියෙක් කියලා දැන ගත්තම හොඳටම බය වෙලා හිටියෙ. එයාගේ රුධිර පීඩනයත් වැඩි වෙලා තිබ්බා. හැම තිස්සේම කිවුවේ එයාට ගෙදර යන්න ඕනේ කියලා. ඒ වගේම එයාට එයා ගැනම කේන්තියක් ආවා. අපිට ගොඩක් මහන්සි වෙන්න වුණා එයාව සාමාන්‍ය තත්ත්වයට ගේන්න. බැරිම තැන එයා ඉන්න වාට්ටුවට ටීවී එකක් දාලා දුන්නා එයාගේ මනස ටිකක් නිරවුල් වෙන්න කියලා. දරුවන් බිහි කරන්න කලින් හොඳටම හිත හැදුවා.’’
කොවිඩ් යැයි සැක සහිත රෝගීන් බාරව සිටින එච්.එම්.පී. රංජන් හෙදි සොයුරිය කීවාය. දිනෙන් දින ඇගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන්නට විය. ඇගේ හිත හැදුවද එහිදී ඇයගේ රුධිර පට්ටිකාවල අඩුවීමක් වගේම රුධිර සංඝටකවල අඩුවීමක් දක්නට ලැබුණු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය දිලුක් සේනාධීර කීවේය. ඒ වාගේම කොවිඩ් 19 වයිරසය නිසා ඇතිවන සංකූලතාවන් නිසා පෙණහලු දුර්වල වීම වාගේ රෝගී ලක්ෂණද ඇයගෙන් පෙන්නුම් කරන්නට විය. ඒ නිසාම ඇයගේ ප්‍රසූතිය සඳහා දින නියම වී තිබුණු පෙබරවාරි මාසය වන තෙක් නොසිට දෙසැම්බර් දාහත් වැනිදාම දරු ප්‍රසූතිය සිදු කළ යුතු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රුවන් පතිරණගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායම තීරණය කර තිබුණි. ඒ වනවිටත් ඇයගේ දරු ගැබට මාස හතයි සති දෙකක් ගෙවී තිබුණි.


දෙසැම්බර් දාහත් වැනිදා උදෑසන එකොළහයි විසි තුනට විශේෂඥ සැත්කම අරඹන්නට නියමිත විය. ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් අට දෙනෙක් සහ තවත් වෛද්‍යවරුන් හත් දෙනකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක්  සහ 20 දෙනකුගෙන් යුත් හෙද සහ කනිෂ්ඨ සේවක කණ්ඩායමක් එක්ව සිටියහ. ඔවුන් විශේෂිත වෛද්‍ය ඇඳුම් කට්ටල සහ මුහුණු ආවරණ පැලඳ සිටීමත් විශේෂ විය.
‘‘අපිට මේ සැත්කම විශාල අභියෝගයක් වුණා. මොකද අම්මා හිටියේ බොහෝ අවදානම් සහගත තත්ත්වයක. ඒ නිසා අපි එයාට රුධිර පට්ටිකා සහ රුධිර සංඝටක ලබා දෙමින් තමයි සැත්කම සිදු කළේ. ඒ විතරක් නෙවෙයි අපි අම්මව සිසේරියන් සැත්කම කරන්න ඕනේ කියලා තීරණයක් කළේ අම්මගෙත් දරුවන්ගේත් ආරක්ෂාව ගැන හිතලයි. අනික එක් දරුවකුට එක් වෛද්‍යවරයෙක් සහ එක් හෙදියක් විදිහට දරුවන් හතර දෙනාටම වෛද්‍යවරු හතරක් සහ හෙදියන් හතරක් විදිහට වෙන්කරලා සැත්කම කළේ. ඒ මේ අම්මා අවදානම් තත්ත්වයක සිටි කෙනෙක් නිසයි. අම්මවයි බබාලා හතර දෙනාවයි ඔක්කොම අපි රැක ගත්තා. දැන් පස් දෙනාම හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් ඉන්නවා.’’


හංසිකා දරුවන් බරින් නිදහස් වුවත් ඈ තවමත් සිටින්නේ කොවිඩ් අවදානම් සහගත තත්ත්වයේ බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය දිලුක් සේනාධීර කීවේය. මේ දරුවන් බිහිකර තිබුණේ ලැබෙන්නට නියමිත කාලයට පෙර නිසා දරුවන් සිව් දෙනාවම වෙනමම නව ජන්ම දැඩි සත්කාර ඒකකයක තැබීමට නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ තීරණය කළේය. ඒ අනුව, ද සොයිසා රෝහලේ ඇති නව ජන්ම දැඩි සත්කාර ඒකකය ඒ සඳහා යොදා ගත්හ. එහි සිටි අනෙක් බිලිඳුන් තවත් රෝහල්වලට මාරු කර යැවීමටත්, වෙනම ඒකකයක් සාදා ඔවුන්ව එහි රැඳවීමටත් වෛද්‍යවරු තීරණය කර තිබුණි. සොයිසා රෝහලේ නව ජන්ම දැඩි සත්කාර ඒකකයක සම්පූර්ණයෙන්ම මෙම නිවුන් දරුවන් සිව් දෙනා වෙනුවෙන් වෙන් විය. ඒ එක් එක් දරුවන් බලා ගැනීමට එක් එක් වෛද්‍යවරුන් බැගින් විය. මෙලෙස එළිය දුටු පළමු පිරිමි දරුවාගේ බර කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් හයසියයකි. දෙවැනි ගැහැනු දරුවාගේ බර කිලෝ එකයි ග්‍රෑම් හාරසියයකි. තුන්වැනි ගැහැනු දරුවා කිලෝ එකයි ග්‍රෑම් තුන්සියයක බරකින් යුක්තය. නමුත් සිව් වැනි දරුවා කිලෝ එකයි ග්‍රෑම් සියයක අඩු බරකින් යුතු විය. ඒ තත්ත්වය නිසාදෝ බිහි වී පැය ගණනක් යනතුරු ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවක් පැන නැගී තිබුණි. නමුත් අද වන විට ඒ තත්ත්වය සුව අතට හැරෙමින් තිබෙන බව නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ කීවේය.
දරුවන් බිහි කර දෝතට ගෙන පපුවට තුරුලු කර ගන්නට මග බලා සිටියත් හංසිකාට හෝ ගිහාන්ට තවමත් ඒ අවස්ථාව ලැබී නැත. අඩු තරමේ දරුවන් අල්ලා බලන්නට හෝ නොලැබුණි.

‘‘මට මුල්ම පුතාගේ අඬන හඬ විතරයි ඇහුනේ. අනිත් තුන්දෙනාවම මම තාම දැක්කේ නැහැ. අඩුම ගානේ එයාලට කිරි ටිකක්වත් දෙන්න මට බැරි වුණා. ඒත් මම සතුටු වෙනවා එයාල කරදරයක් නැතුව ඉන්න එක ගැන. අනික මම විතරක් නෙවෙයි තාම මගේ මහත්තයවත් දරුවගේ මුහුණ බලලා නැහැ. මොකද එයා ගෙදර නිරෝධායනය වෙන නිසා ඉස්පිරිතාලෙට එන්න විදිහක් නැහැ. මට කොහොමහරි ඕනේ ඉක්මනට සනීප වෙලා දරුවෝ හතර දෙනාත් එක්ක ගෙදර යන්නයි’’

හංසිකා දැන් දින ගනින්නේ ඔවුන් දෝතට ගෙන ගෙදර යන දවසක් එනතුරුය.

හර්ෂණි දිසානායක (අරුණ)