මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස වන කඩවත මීරිගම කොටසේ ඉදිකිරීම් මන්දගාමීව සිදුවන බවට ලද තොරතුරු හා විගණන වාර්තා පදනම් කරගනිමින් එම ඉදිකිරීම බාර ව්‍යාපෘතිවල උසස් නිලධාරින් දෙදෙනකු වහාම ස්ථාන මාරු කිරීමට මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන ඇත.

මෙම ප්‍රමාදය ගැන අමාත්‍යවරයා ඉදිකිරිම් සමාගම්වලට හා ව්‍යාපෘති භාර නිලධාරින්ට දෙවතාවක දී අවවාද කළ ද ඉදිකිරිම් දිගින් දිගටම මන්දගාමී බැවින් අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇත.


අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇත්තේ එම මාර්ගයේ ඉදිකිරීම් පිළිබඳ සොයාබැලීමේ නිරික්ෂණ චාරිකාවකින් අනතුරුව එම අමාත්‍යශයේ දී ඉකුත්දා (15) පැවති සාකච්ඡාවකින් පසුවය.

උපදේශන සමාගමේ විදේශයන්වල සිටින උපදේශකයන් මෙරටට පැමිණ නැති බැවින් දින 30ක් ඇතුළත ඔවුන් මෙරටට ගෙන්වන ලෙසත් අමාත්‍යවරයා උපදේශන සමාගමට දැනුම් දී ඇත.

අමාත්‍යවරයා මෙහි ඉදිකිරීම් සිදුකර ඇති ස්ථානවල තොරතුරු හා චීන සමාගමේ උපකොන්ත්‍රාත්කරුවන්ගේ ලැයිස්තුව ඉල්ලූ විට එය ඉදිරිපත් කිරීමට ද එම නිලධාරින් අපොහොසත් වූ බව මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

දේශීය කොන්ත්‍රාත්කරුවන්ට මෙම ඉදිකිරීම් ලබාදී මෙම කොටස ඉදිකිරීම් වසර දෙකහමාරක් තුළ දී අවසන් කරන ලෙසට අමාත්‍යවරයා දැනුම් දුන් බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.


(ඩයනා උදයංගනී)