සීමාසහිත ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (IC.T.A) ඇරඹු ඊ විශ්‍රාම වැටුප් නමැති ව්‍යාපෘතිය අසාර්ථක වීමෙන් කෝටි විසි අටකට ආසන්න මුදලක් වතුරේ ගොස් ඇතැයි පොදු ව්‍යාපාර

පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී (කෝප්) පෙරේදා (8)
තොරතුරු අනාවරණය වී ඇත. මෙය සම්පූර්ණ අසාර්ථක ව්‍යාපෘතියක් බව ද කෝප් කමිටුව පවසයි. විශ්‍රාමිකයන්ට අන්තර්ජාලය ඔස්සේ විශ්‍රාම වැටුප් ලබාදීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ ද මෘදුකාංග හා දෘඩාංග පිළිබඳ ගැටලුවක් හේතුවෙන් ව්‍යාපෘතිය 2013 වසරේ නොවැම්බර් මස 1 වැනිදා සිට අතහැර දමා ඇතැයි ද කියති.


මෙයට අමතරව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය  තවත් ව්‍යාපෘති ගණනාවක් සඳහා නිකරුණේ මුදල් වැඩිකර ඇතැයි කියන එම කමිටුව මුළු දිවයිනටම අන්තර්ජාල පහසුකම් දීමේ අරමුණින් ක්‍රියාන්විත කළ ගූගල් බැලුන් ව්‍යාපෘතිය ද එසේ අසාර්ථක වූ ව්‍යාපෘති අතර එකක් බව සඳහන් කරයි. එම ව්‍යාපෘතිය අසාර්ථක වීමෙන් සිදුවූ පාඩුව රුපියල් කෝටි හයකට අධිකය. මේ අතර කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ස්ථාපනය කිරීමේ අරමුණින් අයි.සී.ටී.ඒ. ආයතනය 2016 වර්ෂයේ දී ආරම්භ කර තිබූ ලංකා රාජ්‍ය ජාලය නමැති ව්‍යාපෘතියට රුපියල්  කෝටි 85 ක් අනුමතවී ඉන් කෝටි 14 කට වැඩි  මුදලක් වියදම් කර ඇතත් එම ව්‍යාපෘතියේ ප්‍රගතිය පැවතුණේ සියයට 17 ක මට්ටමක යැයි ද කෝප් කමිටු විමර්ශනවල දී හෙළිවී ඇත.  


පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පෙරේදා (8) රැස්විය. එම රැස්වීමට අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය  අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ජගත් පුෂ්පකුමාර,  ප්‍රේමනාත් දොලවත්ත, පාඨලී චම්පික රණවක  හා එස්.එම්. මරික්කාර් යන මහත්වරු ද සහභාගි වූහ.