වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේදී පෙරේදා (19) දහවල් තිදරු පියකුගේ දෙපා සහ එක් අතක් වෙන් වෙන්නට කඩුවකින් කපා, වෙන් වූ එක් පාදයක කොටසක් රැගෙන ගොස් ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි.
 
මෙසේ කඩු ප්‍රහාරයට ලක්වී ඇත්තේ මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අගම්පොඩිගේ සුනන්ද ජයලත් නමැති 44 හැවිරිදි පෙදරේරුවකු බවද පොලිසිය කියයි.


පෙදරේරුවා සිය නිවස කපරාරු කිරීම සඳහා සිමෙන්ති ගෙන ඒමට වැඩිමහල් පුතා සමග යන අතරදී කුඩා යතුරු පැදියකින් ආ පුද්ගලයකු එල්ල කළ කඩු ප්‍රහාරයකින් අතක කොටසක් කැපී බිමට ඇද වැටී ඇතැයි පොලිසිය කියයි.

අත වෙන්වීමෙන් පසු ප්‍රහාරකයාගෙන් බේරීමට පෙදරේරුවා කඩය ඇතුළට දිව යද්දී ඔහුගේ දෙපාවලටද කඩු ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ එක් පාදයක දණහිසෙන් පහළ කොටසක් හා අනෙක් පාදයේ ඇඟිලි සහිත පතුලේ කොටසක්ද කැපී වෙන්වී වැටී ඇතැයි ද අනතුරුව ප්‍රහාරකයා එසේ වෙන්වූ පාදයක කොටසක් රැගෙන ඔහු පැමිණි යතුරුපැදියෙන්ම ඔහුගේ සහායකයා සමග පලාගොස් ඇතැයි ද පොලිසිය කියයි.

තුවාලකරු පළමුව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි ද වෙන්ව තිබූ ශරීර කොටස් රෝහලට රැගෙන ගොස් ඇතැයි ද පොලිසිය කීය. මේ වනවිට තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත. වෙන්වූ පාදයේ හා අතේ කොටස් යළි බද්ධ කිරීමට ඇති හැකියාව සොයාබැලීමට නියමිත බවද රෝහල් ප්‍රකාශකයා කීය.

ප්‍රහාරකයා බවුන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බව හෙළිවී ඇතැයි ද ඔහු සමග ආ සහායකයා හඳුනාගෙන නැතැයි ද පොලිසිය සඳහන් කළේය.
ප්‍රහාරකයා හා තුවාලකරු කලක් තිස්සේ එකම කල්ලියක සිට විවිධාකාර කටයුතුවල යෙදී ඇත්තන් බවද පසුව ඇතිවූ ආරවුලක් මත ප්‍රහාරය එල්ල කර ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.

තුවාල ලැබූ පුද්ගලයා පොලිසියට ඔත්තුවක් දුන් බවට සැකයක් ඇති කරගෙන සිටීම මත දෙදෙනා අතර ආරවුලක් ඇතිවී ඇතැයි හෙළිවී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

සැකකරු මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටින්නෙකු බ බවද පොලිසිය සඳහන් කරයි.

සැකකරු දින කිහිපයකට පෙර පෙදරේරුවාගේ නිවසට ගොස් ළඟදීම ඉවරයක් කරන බවට තර්ජනය කර ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හා සැකකරු රැගෙන ගිය පාද කොටස සොයාගැනීමට වේයන්ගොඩ පොලිසිය පරික්ෂණ පවත්වයි.


- ආනන්ද ඊ ජයකොඩි -