ඉන්දියාව තුළ COVID-19 වසංගතය පාලනය සදහා එරට බලධාරින් පළමුවෙන්ම අනුමත කිරීමට සූදානමින් සිටින්නේ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම එක්ව ඉදිරිපත් කළ එන්නත බව වාර්තා වෙයි. ඒ අනුව ලබන සතියේදී ඉන්දීය බලධාරීන් ඊට අනුමැතිය ලබාදෙනු ඇතැයි පවසයි.

මේ සමගම බ්‍රිතාන්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම මගින් ඉදිරිපත් කළ එන්නත ප්‍රථම වරට අනුමත කරන රට බවටද ඉන්දියාව පත්වනු ඇත. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ වෛද්‍ය නියාමන අධිකාරිය පවා තවමත් මෙම එන්නතේ අවසන් අත්හදා බැලීම්වල දත්ත විශ්ලේෂණය කරමින් සිටින බවත් සදහන්වෙයි. මෙහිදී ඇස්ට්‍රාසෙනෙකා ඖෂධ නිෂ්පාදන සමාගම හා ඇති කරගන්නා එකගතාවක්
අනුව මෙම එන්නත ඉන්දියාව තුළ නිපදවමින් ඒවා ජනතාව වෙත බෙදාහැරීම ඉන්දීය බලධාරින්ගේ අදහස වී ඇත.

මේ අතර එක්සත්ජනපදයේ Pfizer ඉන්කෝපරේෂන් සමාගම නිපදවූ එන්නත මෙන්ම, ඉන්දියාවේ භාරත් බයෝටෙක් සමාගම මගින් නිපදවූ COVID-19 එන්නත්ද හදිසි අවස්ථාවකදී භාවිතය සදහා අනුමැතිය ලබාදීමට එරට බලධාරීන් අවධානය යොමු කර තිබේ.

අද වනවිට ලොව දෙවැනි වැඩිම COVID-19 ආසාදිතයන් පිරිසක් සිටින රට වන්නේ ඉන්දියාවයි. මේ වනවිට ඔවුන් තම රට තුළ එම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් සැලසුම් සකස්කර ඇත. එන්හිදී කෝටි 125කට අධික ජනගහනයක් වෙත එන්නත් ලබාදීම සිදුකළ යුතුව ඇත. එහිදී ප්‍රථම අදියර යටතේ 600කට එම එන්නත් ලබාදීම ඉන්දියාවේ අපේක්ෂාව වී තිබේ. ඒ අනුව මෙම දැවැන්ත එන්නත් අවශ්‍යතාව සපුරා ගැනීම සදභා ඉන්දියාව වඩාත් ලාභදායි ක්‍රමවේදයකට යොමුවනු ඇතැයි පැවසෙයි.