ජපානය තුළ පසුගිය ඔක්තෝබර් මාසයේදී වාර්තා වන සියදිවි නසාගැනීම් සංඛ්‍යාව මේ වසර තුළ එරටින් වාර්තා වූ COVID-19 මරණ සංඛ්‍යාවට වඩා වැඩි බව එරට රජයේ නිල සංඛ්‍යාලේඛන වාර්තාවක් පවසයි.


ජපානයේ ජාතික පොලිස් ඒජන්සියේ වාර්තාවලට අනුව ඔක්තෝබරයේදී පමණක් එරට සිදුව ඇති සියදිවි නසාගැනීම් සංඛ්‍යාව 2153කි. ඒ අනුව මේ තත්ත්වය වසංගතයට වඩා බරපතළ වී ඇතැයි සඳහන් වී තිබේ. කෙසේ වෙතත් ආසියාවේ අනෙක් කිසිඳු රටකට වඩා COVID-19 හි දරුණු බලපෑමක් එල්ල නොවූ ජපානය තුළ මෙවැනි අවස්ථාවක් වාර්තා වීම අවධානයට යොමුව තිබේ. විශේෂයෙන්ම වසංගතය නිසා ඇති වූ ලොක්ඩවුන් සීමා නිසා එරට ආර්ථිකයේ දරුණු කඩා වැටීමක් සිදුවීමත් සමග ජනතාව සිය මාසික බිල්පත් ඇතුළු ගෙවීම් සිදු කිරීම සඳහා අපොහොසත්වීම මෙලෙස සියදිවි හානිකර ගැනීම් වැඩි ප්‍රමාණයක් සඳහා යොමුවීමට
හේතු වී තිබෙන බව හඳුනාගෙන ඇත.

ඔක්තෝබර් මාසය අවසන් වනවිට ජපානය තුළින් වාර්තා වී තිබූ සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 2,087කි. ඒ අනුව මෙම වසංගතය ජනතාවගේ මානසික සෞඛ්‍ය කෙරෙහි එල්ල කර තිබෙන පීඩනය මින් මනාව පෙන්නුම් කරන බවත් සෞඛ්‍ය බලධාරීන් පවසයි. ඒ අනුව ජනතාවට මෙම මාරාන්තික වෛරසයෙන් මිදීමට හැකියාව ලැබුණත්, රට පුරා පැනවූ ලොක්ඩවුන් සීමා නිසා එල්ල වූ බලපෑමෙන් ගැලවීමට ඔවුන්ට අවස්ථාවක් නොලැබී තිබීම යථාර්ථය බවද ඔවුන් අවධාරණය කරයි.