කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවූ බව කියන චෝදනාවට කොළඹ මහාධිකරණය විසින් අවුරුදු තුනක සිර දඬුවමක් ලබා දුන් රෝස්මරි ෆලිෂියා පෙරේරා හෙවත් ‘ජිනා මැඩම්’ නමැත්තිය එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට  ඊයේ (23 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. බුවනෙක අළුවිහාරේ එල්.ටී.බී. දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නඩු තීන්දුව ප්‍රකාශ කරන ලදී.
මහාධිකරණය විසින් ලබා දී තිබූ තීන්දුවට එරෙහිව
රෝස්මරි ෆිලිෂියා පෙරේරා විසින් අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබිණි.

පෙත්සම්කාරිය අදාළ චෝදනාවට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය ලබාදුන් තීන්දුව අභියාචනාධිකරණයද අනුමත කර තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් බෙදුනු තීන්දුවක් ප්‍රකාශයට පත්කරන ලදී. ගණිකාවක් වශයෙන් කටයුතු කරන තැනැත්තියකට එරෙහිව කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනා ඉදිරිපත් කළ නොහැකි බව පෙත්සම විභාග කළ බුවනෙක අළුවිහාරේ සහ එල්.ටී.බී. දෙහිදෙණිය විසින් නිකුත් කළ තීන්දුවේ දැක්වේ. විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් වෙනම නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්කර ඇත. ගණිකා වෘත්තිය සඳහා කාන්තාවන් සැපයීමේ චෝදනාවට වරදකරු කරමින් වසර තුනක සිර දඬුවමක් සහ රුපියල් 25000ක දඩයක් මහාධිකරණය විසින් නියම කර තිබුනේ පසුගිය ඔක්තෝබර් මාසයේය.

2010 වසරේදී කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා කාන්තාවන් පස්දෙනෙකු රඳවා ගැනීම සහ ඔවුන් කූට්ටනය කිරීම ඇතුළු චෝදනා පහක් යටතේ එකල මාධ්‍ය තුළ බෙහෙවින් ප්‍රකටවූ 'ජිනා මැඩම්' නමැති ගණිකා කළමනාකාරිනි විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබූ අතර පසුගිය ඔක්තෝබර් 19 වන දින ඇයට මෙම වරද සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු
ධම්මික ගනේපොල මහතා  අත්හිටවු සිරදඩුවම් හා දඩ නියම කරන ලදි.

ඇය ගණිකාවන් බවට පත් කිරීම සදහා කාන්තාවන් පස්දෙනෙකු රදවාගෙන සිටීමේ චෝදනාවට වරද ද එදින පිළිගත්තාය.
එම අවස්ථාවේ  ‘ජිනා මැඩම්’ විත්තිකාරියට බරපතල වැඩ සහිත වසර 02ක සිරදඩුවමක් නියම කොට එය වසර 10 ක කාලයකට අත්හිටුවීමට නියම කළ විනිසුරුවරයා එම වසර 10ක කාලය තුළ මෙවැනි ආකාරයේ වරදක් කරනු ලැබුවහොත් මෙම වසර 02ක බරපතල වැඩ සහිත සිරදඩුවම ක‍්‍රියාත්මක කිරීමටද නියම කළේය.
චෝදනාවට වරද පිළිගෙන මෙලෙස දඩුවම් විඳිමින් සිටි රෝස්මෙරි ජූඩ් ෆිලීෂියා පෙරේරා හෙවත් ජිනා මැඩම් නැමැත්තිය ඊයේ නිදොස කොට නිදහස ලැබුවාය.