ඇමෙරිකා එක්සත් ජනපදයේ මීළඟ ජනපතිවරයා ලෙස පත්ව සිටින ජෝ බයිඩන් ධවල මන්දිරයේ සන්නිවේදන අංශය සඳහා සම්පූර්ණයෙන්ම කාන්තාවන්ගෙන් සමන්විත කණ්ඩායමක් පත්කරගෙන ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ධවල මන්දිරයේ සන්නිවේදන කණ්ඩායම කාන්තාවන්ගෙන් පමණක් සමන්විත වන ප්‍රථම අවස්ථාව මෙය වී තිබේ. එහිදී එකිනෙකට වෙනස් වර්ණයන්ගෙන් යුතු කාන්තාවන් මෙම තනතුරු සඳහා පත්කරන බව පැවසෙයි. ඒ අනුව සිය මැතිවරණ ව්‍යාපාරයේ සන්නිවේදන අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කළ කේට් බෙඩින්ග්ෆීල්ඩ් ධවල මන්දිරයේ සන්නිවේදන අධ්‍යක්ෂිකාව බවට පත්කරගෙන ඇත. එසේම ඩිමොක්‍රැටික් පක්ෂයේ දිගු කාලයක් පුරා මාධ්‍ය ප්‍රකාශිකාව ලෙස කටයුතු කළ ජෙන් ප්සාකි ඔහුගේ මාධ්‍ය ලේකම්වරිය
ලෙස පත්කරගෙන ඇත.

මීට අමතරව උප ජනපතිනිය ලෙස තේරීපත්ව සිටින කමලා හැරිස්ගේ කාර්යමණ්ඩල ප්‍රධානී කේරින් ජීන් පියරේදෙ මෙම කණ්ඩායමට අයත්ව සිටියි. ඒ අනුව ඇය උපජනපතිවරියගේ ප්‍රධාන නියෝජ්‍ය මාධ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කරනු ඇත. මේ අතර එරට පාර්ලිමේන්තුවේ කථානායිකා නැන්සි පෙලොසිගේ හිටපු සන්නිවේදන අධ්‍යක්ෂිකා ඈෂ්ලි එටිනේ කමලා හැරිස්ගේ සන්නිවේදන අධ්‍යක්ෂිකාව ලෙස පත්කර ඇත. එසේම බයිඩන්ගේ මැතිවරණ ව්‍යාපාරයේදී සන්නිවේදන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ පිලි ටොබාර් නියෝජ්‍ය ධවල මන්දිර සන්නිවේදන අධ්‍යක්ෂවරිය ලෙස පත් කර ඇත.  

මේ අතර බයිඩන් සිය කළමනාකරණ සහ අය වැය කාර්යාලයේ ප්‍රධානී ධුරය සඳහා ඉන්දියානු - ඇමෙරිකානු සම්භවයක් සහිත නීරා ටන්ඩන් නම් කර ඇතැයි වාර්තා වෙයි. ඇය ඩිමොක්‍රැටික් පක්ෂයේ ප්‍රතිපත්ති සම්පාදන කාර්යාලයේ සාමාජිකාවක්ද වෙයි. යම් ලෙසකින් ටන්ඩන් මෙම ධුරය සඳහා පත්වුවහොත් ධවල මන්දිරයේ මෙම ධුරය සඳහා එතෙක් මෙතෙක් පත්වන පළමු සුදු ජාතික නොවන කාන්තාව බවටද පත් වෙයි. 50 හැවිරිදි වියේ පසුවන ටන්ඩන් මේ වනවිට ලෙෆ්ට් ලීනිංන්ග් සෙන්ටර් ෆෝ ඇමෙරිකන් ප්‍රෝග්‍රෙස් නම් අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙසද කටයුතු කරයි.

එසේම ඇය මීට පෙර හිටපු ජනපතිවරුන් දෙදෙනකු වන බිල් ක්ලින්ටන් සහ බරැක් ඔබාමාගේ පරිපාලනයන්හිදීද රාජකාරි කර තිබේ. ඒ අතරින් ක්ලින්ටන්ගේ ධුර කාලයේදී ඇය ස්වදේශීය ප්‍රතිපත්ති පිළිබඳ සහකාර අධ්‍යක්ෂවරිය ලෙස මෙන්ම, ජනපති ආර්යාවගේ ජ්‍යෙෂ්ඨතම ප්‍රතිපත්ති උපදේශිකාව ලෙසද කටයුතු කර තිබේ.