කොල්ලුපිටියේ සිට දෙහිවල හිල් වීදිය දක්වා දිවෙන සමුද්‍රීය මාර්ගයේ (Marine Drive) දෙහිවල පාලම
(රාමක්‍රිෂ්ණ පාර) අසල සිට හිල් වීදිය දක්වා වූ කොටස් ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන්නැයි මහාමාර්ග අමාත්‍ය පොස්ටන් ප්‍රනාන්දු මහතා මාර්ග සංවර්ධන අධිකාරීයේ නිලධාරීන්ට පෙරේදා (28) උපදෙස් දුන්නේය.   ඇමැතිවරයා මෙසේ  උපදෙස් දුන්නේ එම මාර්ගයේ  ඉදිකිරීම් කටයුතු නීරික්ෂණය කළ අවස්ථාවේදීය.  රථවාහන තදබදයට පිළියමක්  ලෙස මෙම මාර්ග කොටස මංතීරු දෙකේ සිට මංතීරු හතරක් දක්වා  පුළුල් කෙරේ. 
මෙම ව්‍යාපෘතිය යටතේ රාමක්‍රිෂ්ණ පාර අසල නව පාලමක්ද ඉදිකෙරෙන අතර ඒ සඳහා වැය කෙරෙන සමස්ත මුදල රුපියල් කෝටි 23 කි. පාලමේ දිග මීටර් 25 කි. පළල මීටර් 18 කි.


කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගයේ අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස මෙම මාර්ග ව්‍යාපෘතිය සිදු කරන්නේ යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.  මේ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසුව මහාමාර්ග ඇමැතිවරයා මාධ්‍යවේදීන් අමතමින් මෙසේද කීය.  මෙම සමුද්‍රීය මාර්ගය පසුගිය යහපාලන රජයේ අවුරුදු 5 තුළ කිසිම සංවර්ධනයක්  වෙලා නැහැ. ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ අපේ රජයේ නියමිත ප්‍රමිතියට අනුව කඩිනමින් සංවර්ධන ව්‍යාපෘති අවසන් කිරීමට කටයුතු කිරීමයි. ඒ අනුව දින 70 වැනි කාලයකදී දෙහිවල සිට හිල් වීදිය දක්වා මාර්ග  කොටසේ ඉදිකිරීම් අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.


කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ පවතින රථ වාහන තදබදයට  මෙමගින් කෙටිකාලීන පිළියම් ලැබෙනවා. මාර්ග තදබදයට ස්ථිර ස්ථිරසාර විසඳුමක් ඉදිරියේදී මොරටුව විශ්වවිද්‍යාලය සමග එක්ව ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා.  කොරෝනා වසංගතය නිසා සංවර්ධන කටයුතු අපි අඩාල කරගන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය ආරක්ෂිතව අපේ සංවර්ධන කටයුතු ඉදිරියට  ගෙන යනවා. කොන්ත්‍රාත් සමාගම් සමග තිබෙන ගිවිසුම් නිසා සංවර්ධන ව්‍යාපෘතීන් නියමිත දිනට අවසන් කිරීමට නොහැකි වුවහොත් අපිට ප්‍රමාද ගාස්තු වශයෙන් විශාල මුදලක් ගෙවීම සිදුවෙනවා. එම නිසා සංවර්ධන කටයුතු නොකඩවා ඉදිරියට ගෙනයාමට අප කටයුතු කරනවා. සොබාදහම වෙනස් වූ ආකාරයට අපිත් අපේ ක්‍රමර්වේදයන් වෙනස් කර රටේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යනවා.


-සුජිත් හේවාජුලිගේ-