කොරෝනා ආසාදිත බව තහවුරු වූ ගාල්ලේ පදිංචි මුස්ලිම් ජාතිකයකුගේ මෘතදේහය මාසයකට ආසන්න කාලයක් තිස්සේ කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තිබෙන බව රෝහල් පොලිසිය පවසයි. කළුබෝවිල රෝහලට ඇතුළත්ව සිටි මෙම පුද්ගලයා පසුගිය නොවැම්බර් 29 වැනිදා මියගියේය. මියයෑමෙන් පසුව සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයේදී අනාවරණය වූයේ ඔහුට කොරෝනා ආසාදිත බවයි. දේහය භූමදානයට නොදෙන්නේ නම් එය බාර නොගන්නා බව පවසමින්, මියගිය පුද්ගලයාගේ ඥාතීන් දේහය හඳුනාගැනීම හෝනොකළ බව කළුබෝවිල රෝහලේ හදිසි මරණ පරීක්ෂක ඒ.එම්.ඩී.පී.ඒ.ටී. කොටුගොඩ මහතා පවසයි.
පොලිසිය මේ සම්බන්ධව ගල්කිස්ස අධිකරණයට කරුණු වාරිතාකර ඇති අතර දේහය ඥාතීන් විසින් හඳුනාගනු ලැබීමෙන් පසුව ආදාහනය කරන ලෙසට අධිකරණය දැනුම් දී ඇත. එහෙත් ඥාතීන් දේහය හඳුනාගැනීමට මෙතෙක් ඉදිරිපත් නොවීම හේතුවෙන් දේහය මතශරීරාගාරයෙන් ඉවත්කිරීමට නොහැකි වී ඇතැයි රෝහල් පොලිසිය කියයි. හදිසි මරණ පරීක්ෂක කොටුගොඩ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමේදී ඔහු මෙසේ කීවේය.
“දේහය හඳුනාගෙන සාක්ෂි ලබාගැනීමට කටයුතු කළ අවස්ථාවේ දී මියගිය තැනැත්තාගේ බිරිඳ හා සහෝදරයකු දේහය හඳුනාගැනීම පවා ප්‍රතික්ෂේප කළා. ඔවුන් සාක්ෂි දුන්නෙත් නැහැ. මේ මළසිරුර තවමත් කළුබෝවිල රෝහලේ තිබෙනවා.” යැයි ඔහු කීවේය.
මිලිද්දුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ දේහය අද වනවිට මාසයකට ආසන්න කාලයක් තිස්සේ කළුබෝවිල රෝහලේ මෘත ශරිරාගාරයේ තැත්පත් කර තිබේ. අවසන් කටයුතු සිදුනොකිරීම නිසා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන මියගිය අයගේ ලේඛනයට මෙම මරණය පිළිබඳ තොරතුරු මෙතෙක් ඇතුළත් කර නොමැත.
0 Comments