කොවිඩ් – 19 ආසාදිතයන් තිදෙනෙකු හමුවීම හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ කළුතර දකුණ පොලිස් කොට්ඨාසයට අයත් කුරේ පාර ප්‍රදේශයට සංචරණ සීමා පණවමින් අගුලු දමා ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ දින කිහිපයකට පෙර එම ප්‍රදේශයේ සිදු කළ PCR පරීක්ෂණවල ප්‍රතිඵල ඊයේ (08) ලැබී ඇති අතර එහිදී ආසාදිතයන් වාර්තාවීම හේතුවෙනි.

එම පුද්ගලයන් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කිරිමට
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඔවුන්ගේ නිවස්වලට යන අවස්ථාවේ එක් අයෙකු තමන් ආසාදිතයෙකු බව නොදැන කොළඹ ප්‍රදේශයේ පුද්ගලික වෙළඳ ආයතනයක රැකියාව සඳහා ගොස් සිට ඇත.

එම ආසාදිත පුද්ගලයා බස් රථයකින් නැවත නිවස බලා පැමිණෙමින් තිබිය දී සෞඛ්‍ය අංශ සහ කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් බස්රථය නවතා ආසාදිතයා සොයා ගෙන ඇත.

බස් රථයේ සිටි පිරිස බිෂබීජහරණය කර ඇති අතර, ආසාදිත පුද්ගලයා මුදල් හුවමාරු කළ කොන්දොස්තරවරයා නිරෝධායනයට යොමුකර තිබේ.

මේ පිළිබඳ අදහස් දැක්වු කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී. සිංහබාහු මහතා,

“පීසීආර් පරීක්ෂණයට ලක්කළ පොසිටිව් පුද්ගලයෙක් රෝහල්ගත කරන්න නිවසට ගියා. ඒ අවස්ථාවේ දී ඔහු නිවසේ සිටියේ නෑ. හේතුව බැලුවහම ඔහු කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික පාසලක සේවය කරන පුද්ගලයෙක්. අපි විමසීමේ දී ඔහු පෞද්ගලික බස්රථයකින් කොළඹ සිට ඔහුගේ ගම්බිම්බලා එනවා. අපි බස්රථය නවත්වා බස් රථයෙන් ඔහුව බස්සවා ගත්තා. මේ පුද්ගලයාගේ ගමේ තවත් කොවිඩ් රෝගීන් හමුවීම හේතුවෙන් කළුතර දකුණ පොලිස් වසමේ කුරේ පාරේ ගමනාගමනය සීමා කරලා තියෙනවා.“