කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිඛෙන කොවිඩ් ආසාදිත මෘත දේහ අද (24) දිනයේ

ඉවත්   නොකළහොත් රාජකාරි කටයුතුවලින් සම්පුර්ණයෙන්ම ඉවත්වීමට තීරණය කළ බව කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීහු පවසති. 

කොවිඩ් ආසාදනය වී ප්‍රතිකාර ලබා නිවසට පැමිණ සිටියදී පසුගිය 19 වැනි දින රාත්‍රී මියගිය ගාල්ල දෙද්ඳුගොඩ පදිංචි 34 හැවිරිදි මුස්ලිම් පුද්ගලයකුගේ සිරුර භූමදානය කිරිමට අවසර නොදීම නිසා ඥාතීහු දේහය බාර ගැනීම ප්‍රතික්ෂේප කළහ. පොලිසිය සහ මියගිය අයගේ ඥාතීහු ඉකුත් 21 වැනිදා අධිකරණයට ගොස් මේ ගැන කරුණු දැක්වූහ.


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් ලබාගෙන ඒ අනුව මළ සිරුර සම්බන්ධයෙන් කටයුතු කරන  ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය පොලිසියට උපදෙස් දුන්නාය.  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ උපදෙස් ලැබෙන තෙක් සිරුර කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැත්පත් කර ඇත.  මළ සිරුර මෙසේ තිබීම ඉතා අවදානම් තත්වයක් බවත් ඒ නිසා එය අද දිනයේ ඉවත් කළ යුතු බවත් අධිකරණ  වෛද්‍ය නිලධාරීහු සඳහන් කරති. එසේ ඉවත් කරන තෙක් රාජකාරි ආරම්භ නොකරන බවත් අද දිනයේද ඉවත් නොකළහොත් රාජකාරිවලින් ඉවත්වන බවත් අධිකරණ වෛද්‍ය නිලධාරීහු පවසති.

-ඩී.පී.සුගතපාල -