කුඩා දැරියකගේ අතෙහි පිළිකාවක් ඇතිවී තිබූ අස්ථියක් ගලවා කීමෝ තෙරපි සහ රේඩියෝ තෙරපි ප්‍රතිකාර මගින් පිළිකාව විනාශකර නැවත සාර්ථකව අස්ථිය බද්ධ කිරිමට ඉකුත් 7 වැනිදා ගාල්ල කරාපිටිය රෝහලේ  වෛද්‍යවරු පිරිසක් සමත්වූහ. කරාපිටිය රෝහලේ ළමා රෝග පිළිබඳව විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජනත් ලියනගේ සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විකලාංග රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කෞෂාල් කරුණාරත්න යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් මෙම සැත්කම සිදුකළහ. 
මෙවැනි ශල්‍යකර්මයක් මෙරට සිදුවූයේ ප්‍රථම වතාවට බව වෛද්‍යවරු කියති. එවැනි පිළිකා තත්ත්වවලදී සාමාන්‍යයෙන් අත කපා ඉවත් කිරිමට සිදුවන අතර මෙම දැරියගේ අත ඉවත් නොකර අස්ථිය ගලවා පිළිකා සෛල  පමණක් විනාශ කර නැවත එය බද්ධ කිරීම මෙම සැත්කමේ ඇති විශේෂත්වයයි.

වයස අවුරුදු 1 1/2 ක පමණ වූ මෙම දැරියගේ වම් අතෙහි වැලමිටත්, උරහිසත් අතර අස්ථියෙහි පිළිකා තත්වයක් ඇතිවී තිබූ අතර වෛද්‍යවරුන් විසින් ඊට කීමෝ තෙරපි ප්‍රතිකාර ලබා දුන්නද ඉන් පළක් නොවන තැන වෙද්‍යවරු එම දැරියට සැත්කම කළහ.  දැරියගේ පිළිකා සහිත අස්ථිය ගලවා විශ්මිත ක්‍රමවේද ඔස්සේ අයිස් පෙට්ටියක තැන්පත් කර කරාපිටිය රෝහලේ පිළිකා ඒකකය වෙත රැගෙන යනු ලැබීය. එහිදී පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයමිණි හොරාඳුගොඩ මහත්මියගේ පූර්ණ උපදෙස් මත  රේඩියෝ තෙරපි ප්‍රතිකාර ලබාදුන් අතර පිළිකා සෛල විනාශ කිරිමට විනාඩි 20 ක් පමණ ගතවිය. ශල්‍යාගාරය වෙත අස්ථිය රැගෙනඒමට පැයක පමණ කාලයක් ගතවී තිබේ. ඉන් අනතුරුව පැය 8 1/2 ක පමණ සැත්කමකින් පසු අස්ථිය සාර්ථකව බද්ධ කිරිමට හැකියාව ලැබුණු බව වෛද්‍යවරු කියති. ඒ පිළිබඳව විශේෂඥ ශල්‍ය  වෛද්‍ය ජනත් ලියනගේ මහතා, මෙසේ සඳහන් කළේය.


“මෙවැනි සැත්කමක් ලංකාවේ සිදුවෙන්නේ ප්‍රථමවතාවටයි. එම දැරියගේ අතෙහි තිබූ පිළිකාවට කීමෝ තෙරපි ප්‍රතිකාර ලබාදෙමින් තිබුණා. එහෙත් එවැනි පිළිකා තත්ත්ව ඇතිවිට බොහෝ දුරට වෛද්‍යවරුන් සිදුකරන්නේ අත කපා ඉවත් කිරීමයි. එහෙත් එම අස්ථිය ගලවා පිළිකාව විනාශකර නැවත එය අතට බද්ධ කිරිමට අපි හිතුවා. ඒ වගේම පැය 8 1/2 ක සාර්ථක සැත්කමකින් අනතුරුව මේවන විට දැරිය නිරෝගි සුවයෙන් දැඩි සත්කාර ඒකකයේ  ප්‍රතිකාර ලබනවා. ඇයගේ අතෙහි ඇඟිල් මේවන විට හොඳින් වැඩ කරනවා. ඒවගේම ලේ ගමනාගමනයත් හොඳින් සිදුවෙනවා. තව දින  දෙකකින් පමණ එක්ස්රේ කීපයක් ලබාගැනීමට අපි   බලාපොරොත්තු වෙනවා.


දැරිය වැඩිවියට පත්වන  විට සමහරවිට අත තරමක් දිගින් අඩුවිය හැකියි. එහෙත් අත කපා දමනවාට වඩා මෙවැනි සැත්කමක් මගින් අත රැකගැනීම වටින බව අප විශ්වාස කරනවා. එමෙන්ම  මෙම සැත්කම සාර්ථකව සිදු කිරීමට සහාය වූ කාර්යමණ්ඩලයේ සියලුම දෙනාටත් දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය සම්පත් සහ විශේෂඥ වෛද්‍ය ප්‍රගීත්ටත්  ස්තූතිය පළකිරීමටත් මෙය අවස්ථාවක් කරගන්නවා” යැයි  විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලියනගේ මහතා පැවැසීය.


-ගයාන්  සූරියආරච්චි-