නිරෝධායන නීති උල්ලංඝණය කරමින් බොරැල්ලේ සර්පන්ටයින් ප්රදේශයේ සිට පුද්ගලයින් 51 දෙනෙකු රැගෙන අධිවේගී මාර්ගය ඔස්සේ කතරගම බලා ගමන් කරමින් තිබූ බස් රථයක් මත්තල පිටවුම් දොරටුවේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නැවත ආපසු හරවා එවා ඇතැයි වාර්තාවේ.
බොරැල්ල වනාතමුල්ලේ හුදකලා කරන ලද ප්රදේශයක පුද්ගලයකු මෙම චාරිකාවට සහභාගි වීම ගැටලුකාරී වූ අතර 119 දුරකථන අංකයට ලැබුණ ඔත්තුව ඔස්සේ මේ බස් රථය නතර කර නැවත හරවා එවා ගමන් ගත් සියලු දෙනා PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇතැයි වාර්තා විය.
මේ ආකාරයේ චාරිකා වලට යාමට මේ කාලයේ ඉඩ ලබාදී නොතිබීම මෙන්ම නිරෝධායන කලාපයේ අය චාරිකා වලට තබා නිවෙස් වලින් පිටවීමට තහනම් කර ඇති වාතාවරණය තුළ මෙම ගමන සම්පූර්ණ නීති විරෝධී එකක් බව පොලිසිය සඳහන් කර තිබේ.
බස් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම චාරිකාව සංවිධානය කර ඇත්තේ බොරැල්ල ප්රදේශයේ සිටින මත්කුඩු ජාවාරම්කරුවකු වන මාළු සමන් නමැත්තා බවත් ඔහුගේ සම්පූර්ණ වියහියදම් ඇතිව වාර්ෂිකව වර්ෂාවසානයේ ඔහුගේ ගෝලබාලයින් 51 දෙනාට මේ ආකාර විනෝද චාරිකාවක් සංවිධානය වන බවත් පැවසෙන අතර මේ කාලයේ රටේ තත්වය නොසලකා එම සංවිධාන කටයුත්ත පුරුදු පරිදි සිදු කර ඇති බව විමර්ශනවල දී පෙනී ගොස් ඇත.
මෙම බස් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්රවාහනය සඳහා යොදා ගන්නා මාතර ප්රදේශයේ පුද්ගලයකුට අයත් බස් රථයකි. ඒ සඳහා දිනකට 50000 ක ගාස්තුවක්ද ගෙවා ඇති බව හෙලි විය. ගමන් ගත් පිරිස නැවත බොරැල්ලටම හරවා එවා ඇති අතර පීසීආර් පරීක්ෂණ සිදු කර දැනට ඔවුන් නිවාස නිරෝධායනයට යොමු කර ඇත.
0 Comments