කොරෝනා ආසාදිතයන් හමුවුව ද මෙරටට සංචාරකයින් ගෙන ඒමේ නියමු ව්‍යාපෘතිය සැලසුම් කළ පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ මහතා සඳහන් කළේ, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව දේශීය පුද්ගලයන් හා

නොගැටෙන පරිදි සංචාරක බුබුළක් (Tourist Bubble) තුළ රඳවා ගනිමින් එම සංචාරයකයින් කටයුතු
කරනු ඇති බවය.

තව ද කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ දිගු කාලීන සංචාරකයින් පැමිණීම පිළිබඳ ඉදිරි තීරණය ගනු
ලබන්නේ, දැනට ක්‍රියාත්මක වන සංචාරක නියමු ව්‍යාපෘතියේ නිගමන අනුව බව ද අමාත්‍යවරයා පැවසීය.

මෙරටට පැමිණි යුක්‍රේන ජාතික සංචාරකයින් තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගැනීමත් ඉන් රටට අවදානමක් ඇති වේ ද යන්න පිළිබඳව ප්‍රශ්න කළ විට අමාත්‍යවරයා සඳහන් කළේ, අවදානමක් නොමැති බව ප්‍රකාශ කළ නොහැකි බවය.

කෙසේ වෙතත්, ඇති විය හැකි අවදානම් තත්ත්වයන්ගෙන් මිදීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ද
අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

මේ පිළිබඳව සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතාගෙන් කළ විමසීමකදී ඒ
මහතා ද සඳහන් කළේ, පැමිණි සංචාරකයන් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම අවදානම්සහගත නොවන බව පැවසිය නොහැකි බවය.

හඳුනාගත් ආසාදිතයන් සෙසු පිරිසෙන් වෙන් කර හුදෙකලා කර ඇති බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

සෙසු පිරිස ද සංචාරක බුබුළක් තුළ සිය සංචාරයන්හි යෙදෙන බැවින් ඉන් දේශීය පුද්ගලයන්ට හානියක් ඇති නොවන බව ද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

(ෆාදිලා තාසිම්, තාරක සම්මාන් )