පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන මින් ඉදිරියට කුරුණෑගල නගරය තුළ බුලත් විට සපා කෙළ ගසමින් නගරය අපවිත්‍ර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව කුරුණෑගල නගරාධිපති තුෂාර සජීව විතාරණ මහතා ප්‍රකාශ කළේය.  කුරුණෑගල මහ නගර සභාවේ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකදී නගරාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ඒ සඳහා නගර සභා පනත යටතේ බලතල තිබෙන බවත්  නගරාධිපතිවරයා පෙන්වා දුන්නේය. එම පනතට අනුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන වැරැදි කරන පුද්ගලයන්ට එරෙහිව රුපියල් විසිදහසක් දක්වා වන දඩ මුදලක් ද නියම කිරිමට අධිකරණයට හැකියාව ඇති බව ද තුෂාර සංජීව විතාරණ මහතා ප්‍රකාශ කළේය. 
නගරාධිපතිවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

මේ වකවානුවේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මේ ආකාරයට ප්‍රසිද්ධ ස්ථානවල කෙළ ගසා අපිරිසිදු කිරිම කොරෝනා වයිරසය පැතිර යෑමට ප්‍රධාන හේතූවක්. විශේෂයෙන්ම බස්රථ රියැදුරන් ඇතුළු රියැදුරන් මේ වරද බහුලව සිදුකරනවා. කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළට පමණක් දිනකට බස් රථ  දෙදහසක් පමණ ඇතුළු වෙනවා. මේ දිවයිනේ ප්‍රධාන නගරයක් නිසා මීට වඩා ප්‍රමාණයක් බස්රථ කුරුණෑගල නගරය හරහා ගමන් කරනවා.  අපිට අනාවරණය වෙලා තිබෙනවා අපි දැකලා තිබෙනවා මේ රියැදුරන් බුලත් කෙළ ගසමින් නගරයම අපිරිසිදු තත්ත්වයකට පත්කරන ආකාරය. මේ නිසා මෙම අවදානම සැලකිල්ලට ගෙන අද ඉඳලා ඉතාම දැඩිව මේ තීරණය ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා කුරුණෑගල පොලිසියේ සහ අපේ සෞඛ්‍ය අංශ නිලධාරින්ගේ සහාය ලබා ගන්නවා.


කුරුණෑගල නගරය ආරක්ෂා වුණොත් සමස්ත වයඹ පළාතම ආරක්ෂා වෙයි. අපි ඒ වෙනුවෙන් තමයි මේ විදියට ක්‍රියාමාර්ග ගන්නේ . මේ වන විටත් කුරුණෑගල මහ නගර සභා බල ප්‍රදේශයේ පැතිරිලා ගිය කොරෝනා අවදානම සීයට අනූවකට වඩා පාලනය කිරිමට අපිට හැකියාව ලැබී තිබෙනවා යැයි ද නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම මාධ්‍ය හමුවට කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති උඩ වාසල, මහ නගර සභා සෞඛ්‍ය කමිටුවේ සභාපති නාගරික මන්ත්‍රී බන්දු ජයසේකර සහ කුරුණෑගල ප්‍රධාන සෞඛය වෛද්‍ය නිලධාරි ප්‍රියන්ත මුතුනායක මහත්වරුද සහභාගි වූහ.


 -පුෂ්පකුමාර ජයරන්න-