රියදුරු බලපත්‍ර සඳහා සිදුකෙරෙන වෛද්‍ය පරික්ෂණයට මත්ද්‍රව්‍ය හෝ වෙනත් ආකාරයේ ඇබ්බැහිවූවන් හඳුනා ගැනීමේ පරීක්ෂණ ක්‍රමවේදයක් ඇතුළත් කිරීමට වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.


රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියේ වෛද්‍ය පරීක්ෂණය මගින් බෝනොවන රෝගීන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගැනීමට යොමුකිරීම ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් මේ වනවිට සිදුකරමින් පවතින බවයි.

රියැදුරන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ සිදුකර ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය සහතිකකොට වෛද්‍ය සහතික නිකුත් කිරීම ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් සිදුකරන අතර, ඒ සඳහා නුගේගොඩ පිහිටි එහි ප්‍රධාන කාර්යාලය සහ ශාඛා කාර්යාල 25ක් දිවයින පුරා පිහිටුවා තිබේ.

එසේම සේවාලාභීන්ගේ පසුව සඳහා e-channeling සේවාව හඳුන්වා දීම පසුගියදා සිදුකෙරුණු අතර, මේ වනවිට එය දිවයින පුරා ක්‍රියාත්මක බවද රාජ්‍ය අමාත්‍යාංශය පැවසීය.

- නිදර්ශනී වික්‍රමසිංහ -